
ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් ඉදිරියේදී යළිත් වරක් විදුලි බිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය වහාම එකාබද්ධ විය යුතු බවයි.
ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කරුණානායක මහතා මෙසේ පැවසීය.
“ගල් අඟුරු නැව් 9ක් ලංකාවට ඇවිත් තියෙනවා. ඒ නමයේම වාර්තා අවුල් සහගතයි. බාල ගල් අඟුරු නිසා අවශ්‍ය තාපය ජනනය වෙන්නේ නැහැ. මේ තත්ත්වය මත ලංවිම දැනටමත් බිලියන 8ක පාඩුවක් ලබලා තියෙනවා.
දැනට ඉල්ලලා තියෙන 13%ක විදුලි බිල වැඩිවීමට අමතරව, මේ ගල් අඟුරු පාඩුව පියවන්න තව නොබෝ දිනකින් නැවතත් බිල වැඩි කරන්න වෙයි. ටෙන්ඩර් කැඳවීමේ දෝෂයක් නැති බව සමහරු කිව්වත්, මෙහි පැහැදිලි වංචාවක් සිදුවී තිබෙනවා.”




