
විදේශීය ‘ඩිජිටල් විශ්වවිද්‍යාල’ හරහා උපාධි ලබා ගැනීම සහ උත්සව පවත්වා එම පදවි ප්රදානය කිරීම දැන් හුදෙක් ඡායාරූප ගැනීමට හෝ අත්පොළසන් ලබා ගැනීමට පමණක් සිදුවන දෙයක් නොවේ. මෙහි ඇති බරපතල ගැටලුව වන්නේ, පිළිගත් ශාස්ත්‍රීය ප්‍රමිතීන්ට අනුකූල නොවන මෙවැනි උපාධි නිසා මහජනතාව නොමඟ යැවෙනවාද යන්න සහ එම උපාධිවල සැබෑ පිළිගැනීම සහ විශ්වාසවන්තභාවය පිළිබඳවයි.
————————
ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති අනුරුද්ධ බණ්ඩාර මහතාට හිමිව ඇති ආචාර්ය උපාධිය (Doctorate), ‘වොෂින්ටන් ඩිජිටල් විශ්වවිද්‍යාලය’ නමින් හඳුන්වා ගන්නා ආයතනයකින් ලබා දී ඇති බව ‘ද මෝනිං ටෙලිග්රාෆ්’ (The Morning Telegraph) අනාවරණය කරයි. මෙම ආයතනය අන්තර්ජාලය හරහා සහ ජාත්‍යන්තර උපාධි පාඨමාලා ප්‍රවර්ධනය කරන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ.
2024 ඔක්තෝබර් මාසයේදී ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළ වූ සටහන්වල, බණ්ඩාර මහතා උපාධි ප්රදානෝත්සවයකදී පළඳින විශේෂ ඇඳුමෙන් සැරසී, ආචාර්ය උපාධි සහතිකයක් ලබා ගන්නා අයුරු දැක්වේ. බොක්සිං සංගමයේ (BASL) නිල ෆේස්බුක් පිටුව මෙම අවස්ථාව සැමරූ අතර, එහිදී ඔහුව ‘ආචාර්ය අනුරුද්ධ ශානක බණ්ඩාර’ ලෙස හඳුන්වා තිබුණි
එතැන් සිට, බොක්සිං ක්‍රීඩා ඉසව් සහ ජාත්‍යන්තර අවස්ථාවන් වාර්තා කිරීමේදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන කිහිපයක්ම ඔහුගේ නම ඉදිරියෙන් “ආචාර්ය” (Dr.) යන ගෞරව නාමය භාවිතා කර ඇත.
කෙසේ වෙතත්, මෙම උපාධි ලබා දුන් ආයතනය සහ ආචාර්ය උපාධිය ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳව “ද මෝනිං ටෙලිග්රාෆ්” සිදු කළ විමර්ශනයකින් වැදගත් ප්‍රශ්න රාශියක් මතු කර තිබේ.

ක්‍රියාවලිය
මෙම විමර්ශනයේදී සමාලෝචනය කරන ලද ලිපි හුවමාරු සහ ප්රචාරක ද්‍රව්‍යවලට අනුව, වොෂින්ටන් ඩිජිටල් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ ක්‍රියාවලියට පහත දෑ ඇතුළත් විය හැකි බව පෙනී යයි:
- පුද්ගලික තොරතුරු සහ ජීව දත්ත පත්‍රිකාවක් (Resume) ඉදිරිපත් කිරීම.
- වෘත්තීය පැතිකඩක් හෝ සේවා පළපුරුද්ද පිළිබඳ සාරාංශයක් ලබා දීම.
- අමෙරිකානු ඩොලර් 1,000ක පමණ ගාස්තුවක් ගෙවීම.
- උපාධිය පිරිනමන බවට තහවුරු කිරීමක් ලැබීම.
- බොහෝ විට ඉන්දියාවේ සංවිධානය කෙරෙන උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම.
- විධිමත් උපාධි ප්‍රදානෝත්සවයක් වැනි උත්සවයකදී සහතිකය පිරිනැමීම.
මෙම උපාධි ප්රදානෝත්සවය ඉන්දීය නියෝජිතයෙකු හරහා සම්බන්ධීකරණය කෙරෙන බවත්, එහිදී උපාධිධාරීන් ශාස්ත්‍රීය ගවුම් පැළඳ (academic gowns)සහතික ඡායාරූපවලට පෙනී සිටිමින් සහතික ලබා ගනී.
සාමාන්‍යයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමේදී අත්‍යවශ්‍ය වන, වසර ගණනාවක් පුරා අධීක්ෂණය යටතේ සිදු කරන පර්යේෂණ, සම-සමාලෝචනයට (peer-reviewed) ලක් වූ නිබන්ධන ඉදිරිපත් කිරීම හෝ විධිමත් ශාස්ත්‍රීය පරීක්ෂණ (academic defense) පැවැත්වූ බවට ප්‍රසිද්ධියේ දැකිය හැකි කිසිදු සාක්ෂියක් ‘ද මෝනිං ටෙලිග්රාෆ්’ ආයතනයට සොයා ගැනීමට නොහැකි වී ඇත.
————————
වොෂින්ටන් ඩිජිටල් විශ්වවිද්‍යාලය පවසන දේ
වොෂින්ටන් ඩිජිටල් විශ්වවිද්‍යාලය අන්තර්ජාලය හරහා තමන්ව හඳුන්වා දෙන්නේ අමෙරිකාව පදනම් කරගත් ඩිජිටල් අධ්‍යාපන ආයතනයක් ලෙසය. ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි, ඔවුන් ඇමරිකානු පුහුණු සහ සංවර්ධන කවුන්සිලය” (ACTD) නම් පෞද්ගලික ප්‍රමිති සහතික ආයතනයකින් පිළිගැනීමක් ලබා ඇති බවයි.
එසේම, මෙම ආයතනය වෙනත් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධතා පවත්වන බවද ප්‍රවර්ධනය කරයි.
කෙසේ වෙතත්, ‘ප්‍රමිති සහතික’ (Accreditation) සම්බන්ධ නීති සහ අර්ථකථන රටින් රටට විශාල ලෙස වෙනස් විය හැකිය. පෞද්ගලික ආයතනයකින් ලැබෙන මෙවැනි පිළිගැනීමක්, ඕනෑම රටක උසස් අධ්‍යාපන නියාමන අධිකාරියක (National higher education regulator) පිළිගැනීමට ස්වයංක්‍රීයවම සමාන වන්නේ නැත.
————————
ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පිළිගනු ලබන්නේ එම රටේ නිල අධ්‍යාපන පද්ධතිය තුළ ලියාපදිංචි වී ඇති පිළිගත් ආයතනවලින් ලබා ගන්නා උපාධි පමණි. නිසි ප්‍රමිති සහතිකයක් හෝ පිළිගැනීමක් නොමැති ආයතනවලින් ලබා ගන්නා උපාධි සම්බන්ධයෙන් UGC ආයතනය ස්වයංක්‍රීයව අනුමැතිය ලබා දෙන්නේ නැත.
සැබෑ ආචාර්ය උපාධියක් සඳහා සාම්ප්‍රදායිකව පහත කරුණු අත්‍යවශ්‍ය වේ:
- වසර ගණනාවක් පුරා සිදු කෙරෙන අධීක්ෂණය යටතේ පවතින ශාස්ත්‍රීය පර්යේෂණ.
- නව නිබන්ධනයක් (Thesis) ඉදිරිපත් කිරීම.
- ස්වාධීන විශේෂඥ මණ්ඩලයකින් එම පර්යේෂණය ඇගයීමට ලක් කිරීම.
- විද්වත් පරීක්ෂකවරුන් ඉදිරියේ වාචික පරීක්ෂණයකට මුහුණ දීම.
නිල කටයුතු සඳහා උපාධි නාමයන් භාවිතා කිරීමේදී, ශාස්ත්‍රීය වශයෙන් උත්සාහයෙන් ලබා ගත් ආචාර්ය උපාධියක් සහ ගෞරව උපාධියක් හෝ අත්දැකීම් මත ලබා දෙන සම්මාන අතර වෙනස හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
————————
රාජ්‍ය කාර්යාල සහ මහජන නියෝජනය
මෙහි ඇති ගැටලුව පුද්ගලික කීර්තිය ගැන නොව, මහජන නියෝජනය ගැනයි. ජාතික ක්‍රීඩා නිලධාරීන් ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව නියෝජනය කරන විට, ඔවුන් භාවිතා කරන සුදුසුකම් හරහා රටේ ප්‍රතිරූපය ද පිළිබිඹු වේ. බණ්ඩාර මහතා ගෝලීය බොක්සිං ක්‍රීඩා නායකයින් සම්බන්ධ රැස්වීම් ඇතුළු ජාත්‍යන්තර අවස්ථාවන්වලට සහභාගී වී සිටින ආකාරය ඡායාරූපවල දැක්වේ. එවැනි පසුබිම්වලදී, උපාධි නාමයන් රාජ්‍ය තාන්ත්‍රික වැදගත්කමක් උසුලයි. නිල සන්නිවේදනයන්හිදී මෙවැනි ශාස්ත්‍රීය නාමයන් භාවිතා කිරීමට පෙර, ඒවායේ සත්‍යතාව තහවුරු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික සම්මේලන අවධානය යොමු කළ යුතුව ඇත.


පුළුල් සමාජ රටාව
විවාදයට ලක් වූ ශාස්ත්‍රීය සුදුසුකම් හේතුවෙන් දේශපාලන ක්ෂේත්රයේ ප්‍රසිද්ධ පුද්ගලයින් පසුගිය කාලයේ අපකීර්තියට පත් වූ අවස්ථා ශ්‍රී ලංකාවේ දැක ඇත. තම අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරියෙකු ඉල්ලා අස්වීමෙන් පැහැදිලි වන්නේ, සුදුසුකම්වල තිබෙන සැක සහිත තත්ත්වයන් පිළිගැනීමට මහජනතාව තුළ ඇති ඉවසීම බෙහෙවින් අඩු වී ඇති බවයි. නාමයන් සහ උපාධිවලට ස්වයංක්‍රීයව ගෞරවය හිමි වන රටක, ඒවා සත්‍ය දැයි තහවුරු කර ගැනීමේ වගකීම අතිශයින්ම තීරණාත්මක වේ.
————————
පිළිතුරු දීමේ අයිතිය
‘ද මෝනිං ටෙලිග්රාෆ්’ ආයතනය පහත කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත:
- වොෂින්ටන් ඩිජිටල් විශ්වවිද්‍යාලයේ ප්‍රතීතන තත්ත්වය කුමක්ද?
- ආචාර්ය උපාධිය ලබා ගත්තේ අධීක්ෂණය යටතේ සිදු කළ ශාස්ත්‍රීය පර්යේෂණ මගින්ද?
- ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් මෙය පිළිගනු ලැබේද?
මෙම ප්‍රශ්නවලට ලැබෙන ඕනෑම පිළිතුරක් සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කිරීමට පියවර ගනු ඇත.
වැදගත්ම ප්රශ්නය
ආචාර්ය උපාධියක් යනු ගවුමක් ඇඳගෙන ගත් ඡායාරූපයකට වඩා වැඩි දෙයකි. එය ශාස්ත්‍රීය දැනුම, පර්යේෂණ සහ විනය පිළිබඳ සංකේතයකි. ආචාර්ය උපාධි මෙවැනි සරල ජාත්‍යන්තර ක්‍රමවේද ඔස්සේ ඇමෙරිකානු ඩොලර් 1,000ක පමණ මුදලකට ලබා ගත හැකි නම්, සාම්ප්‍රදායිකව ලබා ගන්නා අධ්‍යාපනික සුදුසුකම්වලට ලැබෙන පිළිගැනීමම මෙවැනි උපාධිවලටත් ලබා දිය යුතුද යන්න ශ්‍රී ලංකාව තීරණය කළ යුතුය.
මොකද, අවසානයේදී මේ ගැටලුව ‘ආචාර්ය’ යන නාමය පිළිබඳව පමණක් නොව, එය මහජන විශ්වාසය පිළිබඳ ප්රශ්නයකි.





