ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙතෙක් ලබාදුන් සියයට 3ක වට්ටම් දීමනාව නතර කිරීමට පියවර ගැනීමත් සමඟ මෙරට ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ CPC බලපත්‍රලාභීන්ට මෙම සහනය අහිමි කළද, ලංකා IOC සහ සිනොපැක් (Sinopec) යන සමාගම් යටතේ ක්‍රියාත්මක පිරවුම්හල් සඳහා තවදුරටත් එම වට්ටම් මුදල හිමිවන බවයි.
මෙම පියවර හේතුවෙන් සංස්ථාව යටතේ පවතින පිරවුම්හල් පවත්වාගෙන යාම මූල්‍යමය වශයෙන් කළ නොහැකි මට්ටමකට පත්ව ඇති බවත්, මීට විරෝධය පළ කරමින් ඉදිරියේදී ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
නව තොග ඇනවුම් කිරීම සහ දෛනික නඩත්තු වියදම් පියවා ගැනීමට අපහසු වීම හේතුවෙන් බොහෝ පිරවුම්හල් වසා දැමීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, පක්ෂපාතීත්වයෙන් තොරව මෙම සහනය ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් දැඩි තීරණ ගැනීමට සිදුවන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.




