
උත්සව කියන වචනය බෞද්ධ වචනයක් බවත්, වර්තමානය වන විට මෙරට බෞද්ධ සහ සිංහල සංස්කෘතික උත්සව විනාශ කිරීම සඳහා සියුම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙන්ම වෙසක් උත්සවය ඉලක්ක කරගනිමින් මෑතක සිට විවිධ මතභේද හිතාමතාම නිර්මාණය වෙමින් පවතින බවයි.
සිංහල අලුත් අවුරුද්ද යනු හින්දු සහ බෞද්ධ ජනතාව අතර මහා සංස්කෘතික පාලමක් ගොඩනගන, සියලු අමනාපකම් අමතක කර ජාතියක් ලෙස එකතු වන උත්සවයක් බවට පෙන්වාදුන් උන්වහනසේ පවසන්නේ, පන්සල් යාම, වැඩිහිටියන්ට සැලකීම සහ සාම්ප්‍රදායික ක්‍රීඩා හරහා ගොඩනැගෙන මෙම එකමුතුව බිඳ දැමීමට කිසියම් පිරිසක් කුමන්ත්‍රණය කරමින් සිටින බවයි.
එමෙන්ම නැකත් පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරමින් ජනතාව අතර අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීමට ජ්‍යෝතිෂවේදීන් ඉදිරිපත් වීම මෙම කුමන්ත්රණයේම කොටසක් බව උන්වහන්සේ පෙන්වාදෙනවා.
මේ නිසා ජනතාව නිවැරදි නැකත් ශාස්ත්‍රය අනුව සිය කටයුතු සම්පාදනය කරගත යුතු බව ඇල්ලේ ගුණවංශ හිමියන් ඉල්ලා සිටිනවා.
“ජනතාවට කැමති විදියකට අවුරුදු සමරන්න” යැයි පවසමින් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය වගකීමෙන් බැහැර වීම උන්වහන්සේගේ දැඩි විවේචනයට ලක් කළා.
ජනතා මුදලින් වැටුප් හා පහසුකම් ලබන මෙම නිලධාරීන්, නිවැරදි දිනයන් සහ වේලාවන් නියම කිරීමට කටයුතු නොකිරීම හරහා සංස්කෘතික විනාශයකට මග පාදන බවත්, එම ආයතන තුළට ජාතික සමගියට විරුද්ධ බෞද්ධ විරෝධී පිරිස් රිංගා ඇති බවත් උන්වහන්සේ චෝදනා කළා.
උන්වහන්සේ පවසන්නේ, අතීතයේ පැවති ඇසළ, නිකිණි, නවම් වැනි බොහෝ උත්සව මේ වන විට ගිලිහී ගොස් ඇති බවත්, ඉතිරිව පවතින වෙසක් සහ පොසොන් උත්සවවලට පවා දැන් තර්ජන එල්ල වෙමින් පවතින බවයි.
එමෙන්ම වෙසක් උත්සවය මැයි පළමුවැනිදාට (කම්කරු දිනයට) යෙදීමට ගත් උත්සාහය ද මෙවැනිම කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බව උන්වහන්සේ සිහිපත් කළා.
මෙම සංස්කෘතික ආක්‍රමණයෙන් මහා කලා මංගල්‍යයන් ආරක්ෂා කර මතු පරපුරට දායාද කිරීම වැඩිහිටියන්ගේ වගකීමක් බව පවසන ඇල්ලේ ගුණවංශ හිමියන්, මේ පිළිබඳව රජය සෘජුවම වගකිව යුතු බවත් අවධාරණය කර සිටියා.




