
මෙරට ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයත් සමග 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව වෛද්‍යවරුන් 1489 දෙනකු රටහැර ගොස් ඇති බවත් ඉන් රජයට සහ බදු ගෙවන්නන්ට සිදු පාඩුව රුපියල් කෝටි 1250 ක් බවත් නවතම අධ්‍යනයකින් අනාවරණය වී ඇත.
මෙලෙස වෛද්‍යවරුන් විශාල පිරිසක් රටහැර යාම සෞඛ්‍ය යටිතල පහසුමක් අඩාල කර ඇති බවත් ඒ හේතුවෙන් විශේෂයෙන් ග්‍රාමීය හා අඩු පහසුකම් සහිත සේවා ප්‍රදේශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් නිර්මාණය කර ඇතැයි එම අධ්‍යයනය පිළිබඳ පළවූ ලිපියක සඳහන් වේ.
එය වෛද්‍ය අධ්‍යාපනයට මෙන්ම සැමට සෞඛ්‍ය සේවය එක හා සමානව ලබා ගැනීමට තිබෙන අයිතියට බාධා එල්ල වී ඇතැයි එම ලිපියේ දැක්වේ.
පශ්චාත් අධ්‍යාපනය සඳහා වෛද්‍යවරුන් විදේශගත වන විට නැවත ඔවුන් සේවයට කැඳවා ගැනීමට තිබෙන පශ්චාත් පුහුණු සේවා බැඳුම්කරද වැඩි වශයෙන් අකාර්යක්ෂම මට්ටමක පවතින බව එම අධ්‍යයනය මගින් අනාවරණය වී ඇත.
වර්තමානයේ මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බළකායේ වෛද්‍යවරුන් 23,000 ක් සිටින බවත් ඉන් 2,800 විශේෂඥ වෛද්‍යවරුන් බවත් එම අධ්‍යනයේදී හෙළිවී තිබේ.
අධ්‍යයනය සඳහා ලබාගත් දත්තයන්ට අනුව ආර්ථික අර්බුදය ඇතිවීමත් සමග 2022 සිට 2024 වසර දක්වා වසර තුනක කාලයේදී වෛද්‍යවරුන් 1085ක් විදේශයන්හි විශේෂඥ පුහුණුව ලබමින් සිට ඇති බවත් එසේම 2022 වසරේදී වෛද්‍යවරුන් 477ක් සහ 2023 වසරේදී වෛද්‍යවරුන් 449ක් විදේශ ගත වී ඇති බවත් අනාවරණය වී ඇත.
විශේෂඥ පුහුණුව ලබමින් වෛද්‍යවරුන් 1085 න් සියයට 20ක ප්‍රතිශතයක් 205 දෙනෙකු පශ්චාත් උපාධි සහතික ලබාගැනීමෙන් පසුවත් මෙරටට පැමිණ නැතැයි අධ්‍යයනය පිළිබඳව පළවූ ලිපියේ සඳහන් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් දත්තවලට අනුව එම වසර තුනක කාලයේදී වෛද්‍ය උපාධිධාරීන් 3,839 දෙනෙකු සහ සීමාවාසික වෛද්‍යවරුන් 75 දෙනෙකු පශ්චාත් සීමාවාසික පත්වීම් සඳහා අයදුම් කර නොමැති බවද අධ්‍යනයේදී හෙළි වී ඇත.
එසේම මෙම වසර තුන තුළ විවිධ මට්ටමේ සේවා පළපුරුද්දක් ඇති වෛද්‍ය නිලධාරීන් 1,209 දෙනෙකුගේ තනතුරු පුරප්පාඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇස්තමේන්තු කර ඇතැයි අධ්‍යයනය සඳහා ලබාගත් දත්තවලින් අනාවරණය වී තිබේ. එය වෛද්‍ය නිලධාරීන් 20,000 ක් පමණ සිටින රටක වෛද්‍ය නිලධාරීන්ගේ සියයට 6 ක සැලකිය යුතු අඩුවීමකි.
මෙරට වෛද්‍යවරුන් සංක්‍රමණය වූ රටවල් පිළිබඳවද අධ්‍යයනය කළ කණ්ඩායම සොයා බලා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය සහ ප්‍රජා සෞඛ්‍ය සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් ගණන පසුගිය වසර අවසාන වනවිට සියයට 121 කින් වැඩිවී ඇති බවයි. අධ්‍යනයට අනුව පසුගිය වසර අවසාන වනවිට ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 3,082 ක් නියුතුව සිට ඇති අතර එයට ජෙයෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් 391ක් සහ විශේෂඥ වෛද්‍යවරුන් 413 ක් අයත්ව ඇත.
නමුත් 2019 වසර අවසාන වනවිට බ්‍රිතාන්‍යයයේ ජාතික සෞඛ්‍ය සේවය සහ ප්‍රජා සෞඛ්‍ය සේවයේ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සිට ඇත්තේ 1,396 ක් පමණි එයට ජේයෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් 182 ක් සහ විශේෂඥ වෛද්‍යවරුන් 199 ක් අයත්ව තිබිණි.
තත්වය එසේ තිබියදී ඕස්ට්‍රේලියාවට වැඩියෙන්ම සංක්‍රමණය වන වෛද්‍ය වෘත්තීකයන් ඇතුළත් රටවල් 10 අතර ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය හිමිවන බව 2022 වසරේදී ඕස්ට්‍රේලියාවේ සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි අධ්‍යයන ලිපියේ සඳහන් වේ.




