
පාරිභෝගිකයන් මිලදී ගන්නා මත්පැන් ප්‍රමිතිගත දැයි ක්ෂණිකව පරීක්ෂා කර බැලීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් (App) ඉදිරියේදී හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
‘බදු ශක්ති 2026’ ජාතික බදු සතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ.ඒ. රොෂාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සමඟ එක්ව මෙම යෙදවුම නිර්මාණය කරන බවත්, ඒ හරහා තමන් ගෙවන බදු මුදලට සරිලන ප්‍රමිතිගත මත්පැන් ලැබෙන්නේද යන්න තහවුරු කර ගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළේ, වර්තමානය වන විට සුරාබදු ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
මත්පැන් මිල ඉහළ දැමීම හරහා රජය අපේක්ෂා කරන්නේ මත්පැන් පරිභෝජනය සීමා කිරීම බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
ව්‍යාජ මත්පැන් වෙළඳපොළට පැමිණීම වැළැක්වීම සහ පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම නව තාක්ෂණික වැඩපිළිවෙළේ මූලික අරමුණ වී තිබේ.




