
ඉදිකිරීම් අතරමඟ නවතා දමා ඇති නිවාස ව්යාපෘති සම්පූර්ණ කිරීම සඳහා නව වැඩසටහනක් ක්රියාත්මක කිරීමට අවශ්ය ප්රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතා මේ බව සඳහන් කළේ එම අමාත්යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
විවිධ හේතූන් මත අතරමඟ නවතා දමා ඇති නිවාස ව්යාපෘති 5,000කට ආසන්න සංඛ්යාවක් පවතින බව අමාත්යවරයා පැවසීය.
එම ව්යාපෘති අතරින් භාවිතයට ගත හැකි තත්ත්වයේ පවතින නිවාස හඳුනාගෙන, ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා හිටපු අමාත්යාංශ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම සභාපතිත්වයෙන් සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුව මේ වන විට තොරතුරු රැස් කරමින් අදාළ නිවාස හඳුනා ගැනීම සහ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ නිර්දේශ සකස් කරමින් සිටින බව ද අමාත්යවරයා සඳහන් කළේය.
එමෙන්ම, අඩක් ඉදිකර ඇති නිවාස සම්පූර්ණ කර ගැනීමට අවශ්ය පවුල් සඳහා ලබන වසරේ ආධාර ලබාදීමට තීරණය කර ඇති අතර, ඒ යටතේ පවුල් 2,000කට ආසන්න සංඛ්යාවකට ප්රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
මේ අතර, කොළඹ දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්රියාත්මක නිවාස ව්යාපෘති ඇතුළු නිවාස ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට ද අමාත්යාංශය එකඟ වී තිබේ.




