
අනුමත බැංකු සහ විද්‍යුත් ගෙවීම් පද්ධති භාවිත නොකර රුපියල් ලක්ෂ පහ (500,000) ඉක්මවන අත්පිට මුදල් ගනුදෙනු සිදුකිරීමේදී බදු ගණනය කිරීම්වලට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට අනතුරු අඟවා තිබේ.
ව්‍යාපාරික වියදම් හෝ වත්කම් අත්පත් කරගැනීම් සඳහා ගෙවන මුදල්, පිළිගත් බැංකු ක්‍රමවේද ඔස්සේ පියවා නොමැති අවස්ථාවලදී, එම මුදල් බදු ගණනය කිරීමේදී අඩු කළ හැකි පිරිවැයක් ලෙස පිළි නොගැනීම මෙහි ප්‍රධාන බලපෑමයි.
ඒ අනුව, ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙකු බැංකු හුවමාරු, චෙක්පත් හෝ අනුමත විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත නොකර මුදල් නෝට්ටු මඟින් සෘජුව ගෙවීම් සිදුකළහොත්, එම ගෙවීම්වලට අදාළ පිරිවැය බදු අරමුණු සඳහා ප්‍රතික්ෂේප විය හැකි බව දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි.
මෙවැනි ගනුදෙනු හේතුවෙන් ව්‍යාපාරයක බදු අය කළ හැකි ආදායම ඉහළ යා හැකි අතර, ඒ අනුව ගෙවිය යුතු බදු ප්‍රමාණයද වැඩි විය හැකිය.

රුපියල් මිලියනයක ගෙවීමකට අතිරේක බදු රුපියල් ලක්ෂ තුනක්
මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු උදාහරණයක් ඉදිරිපත් කර තිබේ.
යම් ආයතනයක් ව්‍යාපාරික වියදමක් වෙනුවෙන් රුපියල් මිලියනයක් චෙක්පත් හෝ බැංකු හුවමාරු භාවිත නොකර අත්පිට මුදලින් ගෙවන්නේ නම්, එම රුපියල් මිලියනය බදු ගණනය කිරීමේදී ව්‍යාපාරික වියදමක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළ හැකිය.
එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ මුදල බදු අය කළ හැකි ලාභයට එක්වන අතර, සියයට 30ක ආයතනික ආදායම් බදු අනුපාතයට යටත් ව්‍යාපාරයකට එම ගෙවීම හේතුවෙන් පමණක් රුපියල් 300,000ක අතිරේක බදු වගකීමක් ඇතිවිය හැකිය.
මේ අනුව, ව්‍යාපාරික කටයුතු සඳහා සැබෑ ලෙසම වැය කළ මුදලක් වුවද, එය පියවූ ආකාරය හේතුවෙන් බදු ගණනය කිරීමේදී වියදමක් ලෙස පිළි නොගැනීමේ අවදානමක් පවතී.
ඉඩම් සහ වාහන මිලදී ගැනීම්වලට ඇති බලපෑම
මෙම බදු ක්‍රමවේදය ඉඩම්, දේපළ සහ මෝටර් රථ වාහන මිලදී ගැනීමේ ගනුදෙනු සඳහාද විශේෂයෙන් බලපාන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
නිදසුනක් ලෙස, පුද්ගලයෙකු රුපියල් මිලියන 9කට ඉඩමක් මිලදී ගෙන පසුව එය රුපියල් මිලියන 10කට අලෙවි කළහොත්, සාමාන්‍ය බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව ප්‍රාග්ධන ලාභය රුපියල් මිලියනයකි.
එවැනි අවස්ථාවක බදු ගණනය කළ යුත්තේ ඉඩම මිලදී ගැනීමට වැය කළ මුදල සහ එය අලෙවි කිරීමෙන් ලැබුණු මුදල අතර වෙනස වන රුපියල් මිලියනයක ලාභය පදනම් කරගෙනය.
එහෙත්, අදාළ ඉඩම මිලදී ගැනීම සඳහා ගෙවූ රුපියල් මිලියන 9 බැංකු පද්ධතියෙන් බැහැරව අත්පිට මුදලින් පියවා තිබුණහොත්, එම අත්පත් කරගැනීමේ පිරිවැය බදු අරමුණු සඳහා ශූන්‍ය ලෙස සැලකිය හැකි බව දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීමෙහි සඳහන් වේ.
එවැනි තත්ත්වයකදී ඉඩම අලෙවි කිරීමෙන් ලැබෙන රුපියල් මිලියන 10ම ප්‍රාග්ධන ලාභයක් ලෙස ගණනය විය හැකිය. ඒ අනුව, සැබෑ ලාභය රුපියල් මිලියනයක් වුවද, බදු ගණනය කිරීමේදී ඊට වඩා සැලකිය යුතු ඉහළ මුදලක් පදනම් කරගැනීමේ අවදානමක් පවතී.
මෙය විශේෂයෙන්ම ඉහළ වටිනාකමකින් යුත් දේපළ ගනුදෙනු සිදුකරන පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට බලපාන කරුණකි.
මූල්‍ය විනිවිදභාවය සහ ඩිජිටල් ගෙවීම් දිරිගැන්වීම අරමුණයි
බදු පද්ධතියට නිසි ලෙස වාර්තා නොවන මුදල් ගනුදෙනු සහ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් පාලනය කිරීම මෙම නියාමන ක්‍රමවේදයේ ප්‍රධාන අරමුණක් බව පෙන්වා දී තිබේ.
ඒ සමඟම මූල්‍ය ගනුදෙනුවල විනිවිදභාවය තහවුරු කිරීම, මුදල් ගලායාම පිළිබඳ නිසි වාර්තා පවත්වාගෙන යාම සහ බැංකු මෙන්ම ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතය දිරිගැන්වීමද මෙහි අපේක්ෂිත ප්‍රතිඵල අතර වේ.
එබැවින් ඉහළ වටිනාකමකින් යුත් ව්‍යාපාරික ගෙවීම් සහ වත්කම් මිලදී ගැනීම් සිදුකිරීමේදී අනුමත ගෙවීම් ක්‍රම භාවිත කිරීම මෙන්ම එම ගනුදෙනුවලට අදාළ ලේඛන සහ බැංකු වාර්තා නිසි පරිදි පවත්වාගෙන යාම වැදගත් වේ.




