
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී පාතාල නායක ගණේමුල්ලේ සංජීවට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නීතිඥවරිය පානදුරේ කුඩු සලිඳු, ශිරාන් බාසික් දරූන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු පාතාල අපරාධකාරයන් රැසක් සමග සමීප සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ ප්‍රබලයකු වන මේ වනවිටත් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින දරූන් නමැති පාතාල ප්‍රබලයා සමග සමීප ඇසුරක් මෙම නීතිඥවරිය පවත්වාගෙන ගොස් ඇති බවද මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තාට අයත් බව කියන ගල්කිස්සේ මුහුදු වෙරළේ තිබූ අනවසර හෝටලය කඩා ඉවත් කිරීමේදී පොලිසියට එරෙහිව නීතිමය කටයුතු කිරීමට ඉදිරිපත්ව ඇත්තේ ද මෙම නීතිඥවරිය බව පොලිසිය පවසයි.
ඊට අමතරව මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතල නායකයකු බව කියන පානදුරේ කුඩු සලිඳු වෙනුවෙන් ද අධිකරණයේ පෙනී සිට ඇත්තේ මෙම නීතිඥවරිය බව විමර්ශනවලින් හෙළිවී ඇත.
ගණේමුල්ලේ සංජීව අධිකරණය තුළදී ඝාතනය කිරීම සඳහා ඉෂාරා සෙව්වන්දිට අවශ්‍ය පහසුකම් මෙම නීතිඥවරිය විසින් සපයා දී ඇත්තේ ඩුබායිහි සිටින දරූන් නමැති පාතාල ප්‍රබලයා ගේ ඉල්ලීම මත බව හෙළිවී ඇත.
පොලිසිය පවසන්නේ මෙම නීතිඥවරිය දැන දැනම මෙම මිනිස් ඝාතනය සඳහා පාතාල අපරාධකරුවන්ට උපකාර කර ඇති බව හැඟී යන බවයි. එබැවින් ඇයට බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙන බවද විමර්ශන නිලධාරීහු කියා සිටිති.
මෙම නීතිඥවරිය පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදීය.




