
රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජ්‍ය ආයතන අතුරින් වැඩිම හානිය සිදුව ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

උඩරට දුම්රිය මාර්ගය මුළුමනින්ම පාහේ විනාශ වී ඇති අතර දුම්රිය සේවා සැපයීම ආදී විශාල රාජකාරි හා ගැටලු රාශියකට සිය දෙපාර්තමේන්තුව මේ වන විටත් මුහුණ දෙමින් ඇතැයි එම සංගමය කියයි.
පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී උඩරට දුම්රිය මාර්ගය යළි යථාවත් කිරීමට බොහෝ කාලයක් ගතවනු ඇතැයි මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත එම සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.එම්.එස්. කසුන් චාමර ජයසේකර මහතා විසින් කරුණු දක්වා තිබේ. එහි මෙසේ ද සඳහන් කර ඇත.
රට තුළ උද්ගත වූ දරුණු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ අපගේ සියලුම සහෝදර සහෝදරියන්ට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් තුවාල ලබා දැනට ප්‍රතිකාර ලබන සියල්ලන්ටම ඉක්මන් සහ සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කරන අතර, මෙම ඛේදජනක කාලපරිච්ඡේදයේ දී විපතට පත් සියල්ලන්ගේම පවුල්වලට කනගාටුව ප්‍රකාශ කරමු.
ජාතික ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරන ශ්‍රී ලංකා දුම්රිය සේවය පෙර නොවූ විරූ මෙම ස්වාභාවික ව්‍යසනයෙන් දැඩි ලෙස බලපෑමට ලක් ව ඇත. දුම්රිය මාර්ග, පාලම්, දුම්රිය ස්ථාන, සංඥා පද්ධති සහ ප්‍රධාන ගොඩනැගිලිවලට විශාල හානියක් සිදුවී ඇත. විනාශය කෙතරම් දරුණු හා පුළුල් ද යත්, සම්පූර්ණ ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය සැබෑ පිරිවැය සහ කාලය තවමත් තක්සේරු කළ නොහැක.
එබැවින්, ආරක්ෂාව සහ විශ්වසනීයත්වය සමගින් අපගේ දුම්රිය ජාලය නැවත ගොඩනැගීම සඳහා රාජ්‍ය, පෞද්ගලික අංශයේ සහ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දීමට කැමැත්තෙමු. ආරක්ෂිත සහ විශ්වාසදායක දුම්රිය සේවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අප සංගමයේ උපරිම දායකත්වය ලබා දෙන බව ද වැඩිදුරටත් කාරුණිකව දන්වා සිටින්නෙමු.
දිවයින




