
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කර ඇති බව කියන අක්‍රමවත් ඉන්ධන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් අදාළ අමාත්‍යවරයාගෙන් බරපතල ප්‍රශ්න මාලාවක් යොමු කර තිබේ.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, 2025 නොවැම්බර් සිට 2026 ජූනි දක්වා කාලසීමාව සඳහා ට්‍රැෆිගුරා (Trafigura Pte Ltd) සමාගමට ගෑස් ඔයිල් සැපයීමේ කොන්ත්‍රාත්තුව බැරලයකට ඇමෙරිකානු ඩොලර් 4.08ක වාරිකයකට (Premium) ලබා දී තිබියදී, එම සමාගම 2026 මාර්තු මාසයේ සැපයිය යුතු ඉන්ධන තොගය ලබා නොදෙමින් කොන්ත්‍රාත් වගකීම් පැහැර හැර ඇති බවයි.
කෙසේ වෙතත්, ඉරාන-ඇමෙරිකානු අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇති වූ බාධා මවාපාමින් මාර්තු මාසයේදී කැඳවූ අයැදුම් නොකළ (unsolicited) ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී, එම කොන්ත්‍රාත්තුව පැහැර හැරපු සමාගමෙන්ම ගෑස් ඔයිල් සහ ජෙට් ඒ-1 ඉන්ධන මිලදී ගැනීමට සංස්ථාව පියවර ගෙන තිබේ. එහිදී එම සමාගම බැරලයකට ඇමෙරිකානු ඩොලර් 48ක අතිවිශාල වාරිකයක් ඉල්ලා සිටියද, කිසිදු පැකිළීමකින් තොරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් එම යෝජනාව පිළිගෙන කොන්ත්‍රාත්තුව ප්රදානය කර ඇති බව මන්ත්‍රීවරයා චෝදනා කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින දිලිත් ජයවීර මහතා, පහත කරුණු සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල අවධානය යොමු කර ඇත:
සැපයුම් වගකීම් පැහැර හැරපු සමාගමක මෙවැනි අයැදුම් නොකළ යෝජනාවක්, ප්‍රසම්පාදන නීති රීති උල්ලංඝනය කරමින් පිළිගත්තේ කුමන පදනමක් මතද?
මාර්තු මාසයේ ඉන්ධන තොග නොලැබීම සම්බන්ධයෙන් එම සමාගමට එරෙහිව දඩ මුදල් පනවා තිබේද? එසේ නොමැති නම් ඊට හේතුව කුමක්ද?
ගෑස් ඔයිල් සඳහා නියමිත ඩොලර් 4.08ක වාරිකය වෙනුවට ඩොලර් 48ක අතිවිශාල මුදලක් ගෙවීමට සිදු වීමෙන් රජයට සිදුවූ මුළු පාඩුව කොපමණද සහ මෙම අමතර බර දරන්නේ කවුද?
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේද? එසේ නම් එහි වත්මන් තත්ත්වය කුමක්ද?
කෙසේවෙතත් මෙම ගනුදෙනුව හරහා සිදු වී ඇති දැවැන්ත මූල්‍ය අලාභය සහ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින විනිවිදභාවය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.




