
ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය වර්තමානයේ 1.9ක් එනම්, පැවතිය යුතු මට්ටමෙන් දශම තුනකට අසන්න සංඛ්‍යාවකින් පහත ගොස් ඇති බව ජූලි 15 කොළඹදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වාර්තාවක් එළිදැක්වීමේදී ප්‍රකාශ කෙරිණි.
ඒ, “THE REAL FERTILITY CRISIS” ලෙස නම් කර තිබූ වාර්තාව එළිදැක්වීමේදී ය.
එම අනුපාතිකය පැවතිය යුතු අගය වන්නේ 2.1කි.
ශ්‍රී ලංකාවේ දරු උපත් සැබෑවට ම අඩුවෙලා ද?
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සමග කළ සාකච්ඡාවලදී ඊට සහභාගි වූ බහුතරයක් පවුලක් ගොඩ නැගීමට කැමැත්තක් දක්වන නමුත්, ආර්ථික ප්‍රශ්න හේතුවෙන් එලෙස නොකරන සිටීමට සිදුව ඇතැයි එහිදී අදහස් පළ කළ කථිකයෝ පැවසූහ.
උපත් අඩුවීමට හේතුව කුමක් ද?
වාර්තාව එළිදැක්වීමට සම්බන්ධ වෙමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුලී අඩෙනියි පැවසුවේ, ශ්‍රී ලංකාවේ ජීවන වියදම පසුගිය වසර කිහිපය තුළ දෙගුණයක් වී ඇති බව ය.
මේ නිසා නිවාස සඳහා දැරීමට වන වියදම, ආහාර සඳහා යන වියදම ද ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.
මෙම තත්ත්වය හේතුවෙන් තරුණ පිරිස් පවුලක් ගොඩ නැගීමට බලාපොරොත්තුවක් තිබුණ ද එය තාවකාලිකව නවතා ඇති බව ඔහු පැවසීය.
එමෙන් ම තරුණ පිරිස් දරුවන් බිහි කිරීමට කැමැත්තක් දක්වන නමුත් ඔවුන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව ඔවුන් බිහි නොකරන බව ද ඔහුගේ ප්‍රකාශයේ ඇතුළත් විය.
දරුවන් ලැබිය හැකි වයසේ පසු වන වැඩිහිටියන්ගෙන් ආසන්න වශයෙන් 20%ක් විශ්වාස කරන්නේ, තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව බිහි කිරීමට නොහැකි වනු ඇතැයි යන්න බව වාර්තාවෙන් අනාවරණය කර තිබේ.
මෙම වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට පැමිණ සිටි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ද අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ පවුල් ගොඩ නැගීම සම්බන්ධයෙන් නවමු අවධානයක් යොමු කළ යුතු බව ය.
ශ්‍රී ලංකාවේ වාර්ෂික අඩුබර උපත් ප්‍රමාණය 14.6%ක් දක්වා ඉහළට
තරුණ පිරිස් දරුවන් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින නමුත් ආර්ථික බාධක, සුදුසු රැකියාවක් සොයා ගැනීමට ඇති බාධා, රැකියාව තුළ ඇති අනාරක්ෂිත බව, දරුවෙකු උස් මහත් කිරීමට අවශ්‍ය මුදල් නොමැතිකම, දරුවෙකුට අධ්‍යාපනය ලබා දීමට සිදුවන ආකාරය, ඉහළ ජීවන වියදම හා නිවාස ප්‍රශ්න නිසා ඔවුන් දරුවන් ලැබීම සම්බන්ධයෙන් අධෛර්යමත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එමෙන් ම, ශ්‍රී ලංකාවේ ඇත්තේ කල් ගත වන අධ්‍යාපන ක්‍රමවේදයක් බවත්, කාන්තාවන් වර්තමානයේ අධ්‍යාපනය ලැබීමට වැඩි නැඹුරුවක් දැක්වීම ද දරුවන් ලැබීම අඩු වීමට හේතුවක් වී ඇති බව ඔහු පැවසුවේ ය.
‘තාවකාලික තීරණ ස්ථිර තීරණ බවට පත්වීම ප්‍රශ්නයක්’
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පර්යේෂණ කටයුතු සඳහා සම්බන්ධ වූ, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වන මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක පැවසුවේ, ඉහත සඳහන් කළ හේතු නිසා දරුවන් බිහි කිරීම කල්දැමීම, පවුල් ගොඩ නැගීම ප්‍රමාද කිරීමට ගනු ලබන තාවකාලික තීරණ ස්ථිර තීරණ බවට පත් වීම සැබෑ අර්බුදයක් බව ය.
තරුණ පිරිස් එසේ කරන්නේ, පවුලක් ගොඩ නැගීමට අපේක්ෂා නොකරන නිසා නොව වර්තමානයේ පවත්නා ආර්ථික හා සමාජීය අර්බුදයන් එසේ කිරීමට ඔවුන්ට බල කරන නිසා බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන අරමුදල විසින් තරුණ උපදේශන වැඩසටහන් කිහිපයක් ද සංවිධානය කරනු ලැබ ඇති අතර, ඒවාට සම්බන්ධ වූ තරුණ පිරිස්වලින් 65%ක් දරුවන් බිහි කිරීමට අපේක්ෂා කරන බව පවසා තිබේ.
ලංකාවේ ලිංගික හිංසන නීතිය පිළිබඳ මේ තොරතුරු ගැන ඔබ දැනුවත් ද?
දරුවන් බිහි කිරීම පිළිබඳව අවිශ්වාසයක් ඇති බවට පවසා ඇත්තේ, 33%කි. ආර්ථිකයේ සහ ක්රමයේ ඇති බාධාවන් සම්බන්ධයෙන් 61%ක් අදහස් දක්වා ඇත.
ඔවුන් මේ සඳහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
දැරිය හැකි මුදලකට නිවාස පහසුකම් සැපයීම, සාධාරණ වැටුප් හා රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ තරුණ ව්‍යවසායකයන්ට සහය වීම එම නිර්දේශ අතර වේ.
එමෙන් ම, මානසික සෞඛ්‍ය පහසුකම්, ලිංගික අධ්‍යාපනය ලබා දීම මෙන් ම ග්‍රාමීය සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද නිර්දේශ කර තිබේ.
කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහළට
“THE REAL FERTILITY CRISIS” වාර්තාවේ ශ්‍රී ලංකාවේ ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ තවත් දත්ත පිළිබඳ සඳහන් කර ඇති අතර, එහි ඇති එක් වැදගත් කරුණක් වන්නේ, ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව පිළිබඳ දත්තයි.
ඒ අනුව, පිරිමින්ගේ ආයු අපේක්ෂාව 75ක් ලෙස ද, කාන්තාවන්ගේ 81ක් ලෙස ද එහි සඳහන් වේ.
මෙම වසර මුලදී මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය අනාවරණය කළේ ය.
ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළට
මෙම වාර්තාවට අනුව 2025 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 23.2ක් සිටිති.
ඉන් ශ්‍රම බළකායට අයත් වන වයස් කාණ්ඩය වන අවුරුදු 15-64 අතර ජනගහන ප්‍රතිශතය 66%කි.
වයස අවුරුදු 14 දක්වා දරුවන් ප්‍රතිශතය 22%ක් වන අතර, වයස 65 හෝ ඊට ඉහළ ජනගහනය මුළු ජනගහනයෙන් 12%කි.
මෙම වාර්තාවේ කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් තවත් විස්තර ඇතුළත් විය.
දරු උපතක් සඳහා පුහුණු සෞඛ්‍ය සේවකයන් සම්බන්ධ වීම 2004-2024 යන කාලය ඇතුළත 100%ක් වන අතර, 2023 වසරේ සෑම සජීවී දරු උපත් 100,000කට මාතෘ මරණ සංඛ්‍යාව 18කි.
සෑම දරු උපත් 1,000කට ම වයස අවුරුදු 15 සහ 19 අතර නවයොවුන් මව්වරුන් 16 දෙනෙක් අයත් වෙති.
එමෙන් ම, වාර්තාවේ සඳහන් ආකාරයට 2021 වසරේදී විශ්ව සෞඛ්‍ය ආවරණ [UHC] දර්ශකයේ ශ්‍රී ලංකාව 67 වන ස්ථානයේ රැඳී සිට තිබේ.
උපුටා ගැනීම – බීබීසී




