
හෝමුස් සමුද්‍ර සන්ධියේ දකුණු දිග අනාරක්ෂිත මුහුදු මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කළ තෙල් නැව් දෙකක් සඳුදා රාත්‍රියේ පිපිරීමකට ලක්ව ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කරයි.

ඇමරිකානු හමුදාවේ බලපෑම සහ බලකිරීම මත මෙම නෞකා අදාළ අනාරක්ෂිත මාර්ගය භාවිතා කර ඇති බව ඉරානය පවසයි.
මෙම පිපිරීම් හේතුවෙන් නෞකා ද්විත්වයම ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර, ඉරානයේ ස්වෛරී පාලනය පවතින මෙම උපායමාර්ගික මුහුදු කලාපය තුළ සිදුකරන මෙවැනි ප්රකෝපකාරී ක්‍රියාවල බරපතල ප්‍රතිඵල මෙයින් මනාව පැහැදිලි වන බව IRGC නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඇමරිකානු හමුදාවේ සෘජු බලපෑම මත මෙම නෞකා නියමිත ආරක්ෂිත මුහුදු මංතීරු උල්ලංඝනය කිරීමට උත්සාහ කර ඇති බවත්, ඉරාන දේශසීමාවෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් සිටින ඇමරිකානු හමුදාවල මැදිහත්වීමට කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බවත් එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ශුද්ධ වූ කුරානයේ වැකි උපුටා දක්වමින් ඉරාන ආරක්ෂක බලකාය පවසා සිටින්නේ, කලාපය තුළ ඇමරිකානු ආක්‍රමණශීලී ක්‍රියා පවතින තාක් කල් මෙම මුහුදු මාර්ගය හරහා තෙල්, ගෑස් හෝ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය ආරක්ෂිත නොවන බවයි.
මේ අතර, ඕමානයේ කුම්සාර් ප්‍රදේශයට නාවික සැතපුම් 8ක් වයඹ දෙසින් නෞකාවක් ගිනි ගනිමින් පවතින බව බ්‍රිතාන්‍ය සමුද්‍ර වෙළඳ මෙහෙයුම් ඒකකය ද තහවුරු කර තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ ප්‍රහාරවලින් අනතුරුව කලාපීය නොසන්සුන්තාව යළිත් උත්සන්න වී ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන් ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු ඉලක්ක වෙත ඉරානය විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබීය. පසුගිය මාසයේදී පකිස්ථානයේ මැදිහත්වීමෙන් ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් හරහා ගැටුම් සමනය කිරීමට උත්සාහ කළද, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇමරිකාව සිදුකරන මැදිහත්වීම් හේතුවෙන් තත්ත්වය යළිත් දරුණු අතට හැරී තිබේ.




