
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්රධානී ආචාර්ය චානක සේනානායක මහතා විසින් ශ්රී ලංකා ක්රිකට් පනත් කෙටුම්පතේ ආණ්ඩුක්රම ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

2026 සැප්තැම්බර් 25 වැනිදා ගැසට් පත්රයේ පළ කළ අදාළ පනත් කෙටුම්පත ඔක්තෝබර් 6 වැනිදා පාර්ලිමේන්තු න්යාය පත්රයට ඇතුළත් කර ඇති අතර, ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ලබාදී ඇති දින 14ක කාලසීමාව තුළ මෙම පෙත්සම ගොනු කර ඇති බව සඳහන් වේ.
පෙත්සම මගින් ප්රධාන වශයෙන් කරුණු දෙකක් සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.
එහි පළමු කරුණ වන්නේ දිස්ත්රික් ක්රිකට් සංගම්වලට ඡන්ද අයිතිය අහිමි කිරීම සහ ක්රිකට් පාලනයේ ඡන්ද බලය බස්නාහිර පළාතේ සමාජ වෙත වැඩි වශයෙන් යොමු වීමයි.
පනත් කෙටුම්පතේ 32 වැනි වගන්තිය සහ උපලේඛනය අනුව ශ්රී ලංකා ක්රිකට් මහා සභා රැස්වීම්වලදී ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය හිමිවන්නේ “A” සහ “B” කාණ්ඩයේ සමාජවලට සහ පළාත් ක්රිකට් සංගම්වලට පමණක් බව පෙත්සමේ දැක්වේ.
දිස්ත්රික්ක 25කම ක්රිකට් සංගම් “සාමාන්ය සාමාජිකයන්” ලෙස වර්ග කර ඇති අතර, ඔවුන්ට මහා සභා රැස්වීම්වලදී නිරීක්ෂකයන් ලෙස සහභාගී වීමට හැකි වුවද කතා කිරීමට හෝ ඡන්දය ප්රකාශ කිරීමට අයිතියක් නොමැති බවද එහි සඳහන් වේ.
මාධ්ය නිවේදනයට අනුව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පිළිගත් “A” සහ “B” කාණ්ඩයේ සමාජ 26ක් අතරින් සමාජ 21ක් කොළඹ, ගම්පහ සහ කළුතර යන බස්නාහිර පළාතේ දිස්ත්රික්කවල පිහිටා තිබේ. එය සමස්ත සමාජ සංඛ්යාවෙන් ආසන්න වශයෙන් 81%කි.
එමෙන්ම සමාජ ඡන්ද 40න් 33ක් හෙවත් 82.5%ක් බස්නාහිර පළාතේ සමාජ සතු වන අතර, පළාත් ඡන්ද 9ද ඇතුළත්ව සමස්ත ඡන්දවලින් ආසන්න වශයෙන් 69%ක් බස්නාහිර පළාතට අයත් වන බව පෙත්සමේ සඳහන් කර ඇත.
පෙත්සමේ දෙවැනි ප්රධාන කරුණ වන්නේ ස්වාධීනව ක්රියා කළ යුතු ශ්රී ලංකා ක්රිකට් ආයතනය මත විධායකයේ අධික පාලනයක් ඇති වීම සම්බන්ධයෙනි.
පනත් කෙටුම්පතේ 28 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුග්රාහකයා ලෙස පත් කිරීමට නියම කර ඇති බවත්, ස්වාධීන අධ්යක්ෂවරුන් හත්දෙනා තෝරා ගැනීම සඳහා වන නාමයෝජනා කමිටුවට ක්රීඩා අමාත්යාංශයේ ලේකම්වරයා සහ ජාතික ක්රීඩා සභාවේ සභාපතිවරයා නිල බලයෙන් ඇතුළත් වන බවත් පෙත්සමේ පෙන්වා දී තිබේ.
තවද, අමාත්යවරයාට විගණන සහ පරීක්ෂණ නියම කිරීමටත්, විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ වාර්තාවක් මත අධ්යක්ෂවරුන් හෝ සමස්ත අධ්යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමට, අත්හිටුවීමට හෝ තහනම් කිරීමටත් බලය ලබාදීම සම්බන්ධයෙන්ද පෙත්සමෙන් අභියෝග කර ඇත.
මෙම විධිවිධාන ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) සහ ආසියානු ක්රිකට් කවුන්සිලය (ACC) තුළ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු බවට පනත් කෙටුම්පතේම සඳහන් කර ඇති අරමුණුවලට පටහැනි බවද පෙත්සම්කරු පෙන්වා දී තිබේ.
ඒ අනුව, පනත් කෙටුම්පතේ ඡන්ද විධිවිධාන සහ විධායක පාලනය සම්බන්ධ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනනුකූල බව තීරණය කරන ලෙසත්, එම අනනුකූලතා ඉවත් කිරීමට අවශ්ය සංශෝධන නිශ්චය කරන ලෙසත් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, සමස්ත පනත් කෙටුම්පතම බලරහිත කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා නොමැති අතර, ක්රිකට් පාලන ව්යුහය සෑම පළාතකටම සාධාරණ වන පරිදි සහ අනවශ්ය දේශපාලන පාලනයකින් තොරව පවත්වාගෙන යා හැකි ආකාරයට සංශෝධනය කිරීම එහි අරමුණ බව සඳහන් වේ.
ආචාර්ය චානක සේනානායක මහතා 2007 සිට 2009 දක්වා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නීති අංශ ප්රධානී ලෙස කටයුතු කර ඇති අතර, 2010 සිට 2020 දක්වා ශ්රී ලංකා ක්රිකට් සිඩ්නි සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.




