
ජනතාවාදී ආණ්ඩුවක් විසින් ආරම්භ කරනු ලබන සංවර්ධන ව්යාපෘති නිසි පරිදි අවසන් කර රටේ සැබෑ වෙනසක් ඇති කිරීමට නම්, අවම වශයෙන් වසර 10ක කාලයක්වත් අඛණ්ඩව එම රජය බලයේ පැවතිය යුතු බව නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතා පවසයි.

ජනහමුවක් අමතමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
රජයක් බලයට පත්වී කෙටි කලකින් සියලු ගැටලු එක රැයකින් විසඳනු ඇතැයි ජනතාව අපේක්ෂා කිරීම ප්රායෝගික නොවන බව පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා මෙසේද ප්රකාශ කළේය.
“අවම වශයෙන් ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවගේ අවශ්යතාවන් මේ වගේ සම්පූර්ණ කරන ආණ්ඩුවක් එක දිගට අවුරුදු 10ක්වත් යන්න ඕන. එතකොට තමයි සංවර්ධන ව්යාපෘති නිසි ලෙස අවසන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් බලයට ඇවිත් අවුරුද්දයි දෙකයි වෙනකොට අපෙන් අහනවා කෝ අරක නෑ මේක නෑ කියලා. අර පාර හදන්න, මේ පාර කොන්ක්රීට් කරන්න, අරක කාපට් කරන්න, මේ ඇළ කොන්ක්රීට් කරන්න කියලා එකවර ඉල්ලීම් කරනවා. ඒ ඔක්කොම එකපාර කරන්න බෑ. රාජ්ය නිලධාරීන්ගෙන් මේ වැඩකටයුතු කරගන්නත් යම් කාලයක් සහ ක්රමවේදයක් අවශ්යයි.”
තමන් ඇතුළු වත්මන් මහජන නියෝජිතයන් මහ පොළොවේ ජීවත් වෙමින් බිම් මට්ටමේ සැබෑ දුක්ගැනවිලි අත්විඳි පිරිසක් බව පැවසූ නියෝජ්ය අමාත්යවරයා, ජනතාව මුහුණ දෙන ප්රශ්න පිළිබඳව තමන්ට මනා අවබෝධයක් ඇති බව සඳහන් කළේය.
පවතින රාජ්ය යාන්ත්රණය සහ සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගනිමින්, ජනතාවගේ සැබෑ අවශ්යතා ක්රමානුකූලව සම්පූර්ණ කිරීමට රජය මේ වන විටත් පියවර ගනිමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.




