
ගෝලීය ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාව සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ආර්ථික වර්ධනය පවත්වාගෙන යාම සඳහා සෑම මාස තුනකට වරක් යාවත්කාලීන කෙරෙන ආර්ථික පුරෝකථන සැලැස්මක් ක්රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා මේ බව සඳහන් කළේ ඉන්දීය NDTV නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ අනුව, ඉදිරි මාස තුන සඳහා වන ආර්ථික තත්ත්වයන් පුරෝකථනය කරමින්, වෙනස් වන ගෝලීය ආර්ථික තත්ත්වයන්ට අනුව සැලසුම් යාවත්කාලීන කිරීම මෙම ක්රමවේදයේ අරමුණ වී තිබේ.
ශ්රී ලංකා ආර්ථිකය බලශක්ති ආනයන මත සැලකිය යුතු ලෙස රඳා පවතින බැවින්, මෙම වසර තුළ බලශක්ති මිල තුන්වරක් ඉහළ යාම නිෂ්පාදන පිරිවැය සහ උද්ධමන පීඩනය ඉහළ යාමට හේතු වී ඇති බව ද නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, රජය ක්රියාත්මක කරන මූල්ය ඒකාබද්ධතා වැඩපිළිවෙළ සහ මූල්ය ස්වාරක්ෂක කළමනාකරණය හරහා මෙම පීඩනය යම් මට්ටමකට පාලනය කර ගැනීමට හැකි වී ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර, ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑම හමුවේ ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ද මන්දගාමී වී තිබේ. 2026 වසරේ පළමු කාර්තුවේදී සියයට 5.1ක වර්ධනයක් වාර්තා කළ මෙරට සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය දෙවන කාර්තුවේදී සියයට 4.2ක් දක්වා පහත වැටී ඇති බව අදාළ දත්ත පෙන්වා දෙයි.
මේ අතර, මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ ආයෝජන සහ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් ඉදිරි වසර දෙක තුළ නව ආර්ථික කලාප 18ක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබේ.
එම කලාප අතරින් හතක් ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ද, ඉතිරි කලාප 11 කර්මාන්ත අමාත්යාංශය යටතේ ද ස්ථාපිත කිරීමට නියමිත බව නියෝජ්ය අමාත්යවරයා අනාවරණය කළේය.
තවද, අමෙරිකානු සහ යුරෝපා වෙළෙඳපොළ සමඟ දැනටමත් සබඳතා පවත්වාගෙන යන ශ්රී ලාංකික සමාගම් සමඟ හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීමට ඉන්දීය මධ්යම හා මහා පරිමාණ සමාගම්වලට අවස්ථාව පවතින බව ද ඔහු පැවසීය.
එම හවුල්කාරිත්වයන් ඔස්සේ තාක්ෂණය, ප්රාග්ධනය සහ ජාත්යන්තර වෙළෙඳපොළ වෙත ප්රවේශය බෙදාහදා ගැනීම මගින් මෙරට කර්මාන්ත ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.




