
පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගණයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 325ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ශූරතාව දිනාගැනීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 326ක ඉලක්කයක් හිමිවිය.
ශ්රී ලංකා ඉනිම අවිශ්ක ප්රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් ආරම්භ කළ අතර, ඔවුන් පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදෙමින් ලකුණු 87ක සබඳතාවක් ගොඩනැඟූහ.
කෙසේ වෙතත් ලකුණු 38ක් ලබා සිටියදී අවිශ්ක ප්රනාන්දු දැවීයාමත් සමග එම සබඳතාව බිඳවැටුණු අතර, ඉන් අනතුරුව පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස්ටද වැඩිවේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ.

ලකුණු 109ක් තුළ කඩුලු 2ක් බිඳවැටීම හේතුවෙන් පාකිස්තානය තරගය තුළ තරමක් ඉදිරියට පැමිණියද, කමිඳු මෙන්ඩිස් සහ පවන් රත්නායක ගොඩනඟන ලද අගනා සබඳතාව හේතුවෙන් තරගයේ පාලනය යළි ශ්රී ලංකා කණ්ඩායම සතු විය.
ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල සඳහා පන්දු 119කදී වේගවත් ලකුණු 146ක සබඳතාවක් පවත්වමින් ඉනිම ස්ථාවර කළහ.
මෙම විශිෂ්ට සබඳතාව අතරතුරදී ජාත්යන්තර එක්දින පිටියේ සිය මංගල ශතකය වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වීම විශේෂත්වයකි.
කණ්ඩායමේ ලකුණු සංඛ්යාව 255ක් වද්දී, විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ කමිඳු ලකුණු 131ක් ලබා සිටියදී දැවී ගියේය.
ඉන් අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක පන්දු 9කින් වේගවත් ලකුණු 17ක් රැස්කරමින් ඉනිම වේගවත් කිරීමට උත්සාහ කළද, ඔහුද දැවී ගියේය.
මේ අතර තරගාවලිය පුරා දස්කම් දැක්වූ පවන් රත්නායක ද ලකුණු 77ක් ලබා සිටියදී දැවීයාම, ශ්රී ලංකාවට දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට තිබූ අවස්ථාව අහිමිවිය.
පාකිස්තානය වෙනුවෙන් නායක ෂහීන් අෆ්රිඩි (2/50), නසීම් ෂා (2/80), සල්මාන් අගා (2/44) සහ හාරිස් රවුෆ් (2/60) කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.




