
බන්ධනාගාර තුළ පසුවන පුද්ගලයන් පහරදීම්, වධහිංසා සහ මරණයට පත්වීමේ සිදුවීම් කිසිසේත්ම හුදකලා සිදුවීම් නොවන බවත්, ඔවුන්ගේ ජීවිත සහ මානව ගරුත්වය ආරක්ෂා කිරීම රජයක විකල්ප නොවන අනිවාර්ය වගකීමක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
තමන් අත්අඩංගුවේ පසුවූ කාලසීමාවේ අත්දැකීම් පදනම් කරගනිමින් සිය නිල ‘X’ ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, සිරමැදිරි පවුරුවලින් ඔබ්බෙහි සිටින්නේ තම ආරක්ෂාව වෙනුවෙන් පත්කර ඇති රාජ්‍ය ආයතන මත මුළුමනින්ම යැපෙන මිනිසුන් බව කිසිවෙකුටත් නොසලකා හැරිය නොහැකි යථාර්ථයක් බවයි.

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදවාචකයෙන් පමණක් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව සිහිපත් කරන ඒ මහතා, අධිකරණය හමුවේ ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවලට අනුව ඉන් 17 දෙනෙකු වෙඩි වැදීමෙන් ද, සෙසු 11 දෙනා මොට ආයුධවලින් එල්ල කළ පහරදීම් හේතුවෙන් ද මියගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පෙන්වා දෙයි. එම සිදුවීමෙන් මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, වෝහාරික වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත්, වින්දිතයන්ගේ ඥාතීන් තවමත් යුක්තිය අපේක්ෂාවෙන් පසුවන පසුබිමක වගවීම මෙතෙක් විසඳී නොමැති බවත් ඔහු සඳහන් කරයි.
මෑතකදී හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී මියගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂකුමාර සහ කුරුණෑගල, කොබෙයිගනේ පොලිස් භාරයේදී මියගිය 41 හැවිරිදි පුද්ගලයාගේ මරණ මගින් ද රාජ්‍ය භාරයේ පසුවන්නන්ට සලකන ආකාරය සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද දැඩි කනස්සල්ල පළ කරමින් ස්වාධීන විමර්ශන ඉල්ලා ඇති බව පෙන්වා දෙන ඒ මහතා, නීතියේ ආධිපත්‍යය තෝරාගත් පුද්ගලයන්ට පමණක් අදාළ වන විට එහි අර්ථය බිඳවැටෙන බව පවසයි. පුද්ගලයා කවුරුන් වුව ද, දේශපාලන අවශ්‍යතාවලට ඉහළින් යුක්තිය සාධාරණව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක විය යුතු අතර මූලික අයිතිවාසිකම් සුරැකිය යුතු බව ඔහු අවධාරණය කරයි.
“පුද්ගලයෙකුගේ නිදහස සීමා කළ හැකි වුවද, ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය, ගරුත්වය සහ ආරක්ෂාව උදුරා ගත නොහැකියි. සිරමැදිරි තුළ සිටින අය ආරක්ෂා කරන්නේ කවුද? ඔවුන් සමඟම සත්‍යය ද වැළලී යා නොදී රැකගන්නේ කවුද? යන්න අද පවතින සරල ප්රශ්නයයි. රාජ්‍ය භාරයේ සිටින සෑම ජීවිතයක්ම ආරක්ෂා කිරීම රජයේ අත්හළ නොහැකි යුතුකමක්” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සිය සටහන මගින් පෙන්වා දී තිබේ.




