
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විවාදය අද (අගෝස්තු 05) වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 20කට අධික සංඛ්‍යාවක් විමර්ශන කමිටුව මගින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල කර තිබිණි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුව විසින් ලබාදුන් වාර්තාවට අනුව ඔහු ඊට වැරදිකරු බවට ඒකමතිකව තීරණය කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉකුත් ජුලි මස 22 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ දැනුම් දෙන ලදී.
පාර්ලිමේන්තුව මගින් පොලිස්පතිවරයෙකු ඉවත් කිරීම නිර්දේශ කරමින් කමිටුවක් මගින් එහි නිල තීරණය ඉදිරිපත් කරන ලද පළමු අවස්ථාව මෙය බව කතානායකවරයා එහිදී පැවසුවේය.
අද සිදුවන්නේ කුමක් ද?
2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනාව සම්මත කිරීම සඳහා වූ විවාදය අද (අගෝස්තු 05) පෙරවරුවේ පැවැත්වේ.
බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ පොලිස්පතිවරයා ධූරයෙන් පහ කිරීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරු 4.00ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
දේශබන්දු තෙන්නකෝන්: පාර්ලිමේන්තුවේ තීරණයෙන් පසු දඬුවම් නියම කිරීමේ බලය ඇත්තේ කාට ද?
ශ්‍රී ලංකාවේ ‘පොලිස් කෲරත්වය’ වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේද?
“හෙට හවස 4.00 වෙනකම් පාර්ලිමේතුවේ විවාදය තියෙනවා. නිලධරයන් ඉවත් කිරීම කියන පනතට අනුව මෙතැනදී ඒකාන්ත බහුතරය හැටියට මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ ඡන්දයකින් යෝජනාව සම්මත කළාම ඇති. එතකොට යෝජනාව සම්මත වූ වහාම ඒ ගැන කතානායකතුමා විසින් ජනාධිපතිතුමාට දැනුම් දෙන්න ඕන මේ ගැන. එතකොට පනතේ හැටියට ජනාධිපතිතුමා ක්ෂණිකව පාර්ලිමේතුවේ යෝජනාව සම්මත වුනු නිලධාරියාව ධූරයෙන් ඉවත් කරන්න කටයුතු කරන්න ඕන. ඊට පස්සේ නව පොලිස්පතිවරයා හැටියට පත් කරන්න අවශ්‍ය කෙනාගේ නම ජනාධිපතිතුමා පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දෙන්න කටයුතු කරන්න අවශ්‍යයි.” එම නිලධාරියා පැවසුවේය.
‘ඉවත් වෙන්නේ පොලිස්පති තනතුරෙන් විතරයි’
පාර්ලිමේන්තුව විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් ඔහුට ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට හැකියාවක් ඇත්දැයි බීබීසී සිංහල විසින් මහාචර්ය නීතිඥ ප්‍රතිභා මහානාමගෙන් විමසීමක් සිදුකරන ලදී.
එහිදී අදහස් පළ කරමින් ඔහු පැවසුවේ පාර්ලිමේන්තුව අනුමත කිරීමෙන් පසුව මෙන්ම ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන්ට ඊට එරෙහිව කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බවයි.
“දේශබන්දු තෙන්නකෝන් තමන්ව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නියෝගයට අත්සන් කළාට පස්සේ ඒකට විරුද්ධව නීතිය හමුවට ගිහින් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න හැකියාවක් නැහැ. හැබැයි එයාට විරුද්ධව චෝදනා විමර්ශනය කරපු කමිටුව සම්බන්ධයෙන් තහනම් නියෝගයක් ගන්න තිබ්බා. නමුත් දැන් ඒකට පරක්කු වැඩියි.” මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම පැහැදිළි කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කෙරුණ ද, ඔහු තවමත් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කරන බවයි.
“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තීන්දුව අනුව ඒකට අත්සන් කරපු වෙලාවේ ඉඳලා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් පමණයි ඉවත් වෙන්නේ. හැබැයි එයා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. පොලිස්පති තනතුරෙන් ඉවත් වුනාට පස්සේ ඔහු ඊට පස්සේ ඊලඟ තනතුරට යනවා. හැබැයි මෙතැනදී ඔහුට යම් කිසි විදිහකින් අසාධාරණයක් වුනොත් අධිකරණය හමුවට යන්න හැකියාව තියෙනවා.”
”නමුත් දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු විභාග කිහිපයක්ම තියෙනවා. පොලිස්පති තනතුරට පත් කිරීම සිදුකරපු ආකාරය වැරදි, එයාගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා ඒවාට එරෙහිව අධිකරණය හමුවේ නඩු ගොනු වෙලා තියෙනවා. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයෙන් ඉවත් කරනවාද නැද්ද කියලා අවසන් තීරණය ගන්න වෙන්නේ ජාතික පොලිස් කොමිසමයි.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.
පොලිස් කොමිසමේ ප්‍රතිචාරය
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් සම්මත වීමෙන් පසු ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබා දුනහොත් ඔහුට නැවත පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කිරීමට හැකියාව ඇත්දැයි බීබීසී සිංහල සේවය ජාතික පොලිස් කොමිසමෙන් විමසීමක් සිදු කරන ලදී.
ඊට පිළිතුරු ලබාදුන් ජාතික පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කලේ ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අනුමැතිය ලබාදීමෙන් පසුව නැවත ඔහුට පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නොමැති බව තමන් විශ්වාස කරන බවයි.
“උදාහරණයක් හැටියට ගත්තොත් ප්‍රින්සිපල් කෙනෙක් යම් විනය විරෝධී ක්‍රියාවක් නිසා ධූරයෙන් ඉවත් කළාට පස්සේ එයාට ආපහු ගුරුවරයෙක් විදිහට ඉස්කෝලේ ඇවිත් වැඩ කරන්න හැකියාවක් නැහැ නේ. අන්න ඒ වගේ තමයි මේකත්.” එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේය.
මීළඟ පොලිස්පති වෙන්නේ කවුද?
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් පහ කළහොත් මීළඟ පොලිස්පතිවරයා ලෙස ධුරයට පත් කරනු ලබන්නේ කවුද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබේ.
මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය යි.
නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් පසුවන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ය. ඉන් පසුව ඉදිරියෙන් සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය ය.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි මැදවත්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් පසුවන නිලධාරීන් වේ.
උපුටා ගැනීම – බීබීසී සිංහල




