
ප්‍රබල ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනගන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අතර මත ගැටුමක් ඇති වී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මේ අතර ගොඩ නගන සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අතර මත කිහිපයක් මතු වී ඇතැයි දැන ගන්නට ලැබේ.
ඉකුත් මැතිවරණ වලදී සමගි ජන බලවේගය පරාජයට පත්වීමට හේතු රැසක් බලපෑ බවත් වහාම පක්ෂය ප්‍රතිසංවිධානයට ලක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මීට පෙරාතුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද කළේය.

පක්ෂයේ ඇතැම් අය ඉහළ තනතුරු දරමින් සිටින බවත් ඒ අය ඉවත් කළ යුතු බව ද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
මේ අතර සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන දෛමළ දේශපාලන පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ මෙන්ම පසුගිය මහ මැතිවරණයේදී එම බලවේගයෙන් තරග කළ අය මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු පොදු ප්‍රබල විපක්ෂයක් ඉල්ලා සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද දැන ගන්නට ලැබේ.
විපක්ෂයේ පක්ෂ සියල්ල එකට එක් වී කටයුතු කළ යුතු බවට සමගි ජන බලවේගයේ සහ එම පක්ෂය සමග කටයුතු කරන බොහෝ දෙනාගේ මතය වී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් විපක්ෂයේ ප්‍රබල දේශපාලන සන්ධානයක් ගොඩනැගිමට මේ වන විට සජබ හා එක්ව කටයුතු කරන දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව ගණනාවක අදහස වී ඇතැයි එම පක්ෂ නායකයෝ කිහිපදෙනෙක් ම කියා සිටියහ.




