
මිදෙණිය ප්‍රදේශයේදී සොයා ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක මුදාහැරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදහස් දක්වා ඇත.
ජපානයේ නිල සංචාරයක නිරත වන අතරතුර, එරට ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ කන්ටේනර් දෙක රේගුවෙන් පිට කර ඇත්තේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව බවයි.
ප්‍රශ්නකරු විසින් රේගුවේ තදබදයක් පැවති අවස්ථාවකදී පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323 ක් මුදා හැරීම සම්බන්ධයෙන් විමසා ඇත.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, එවන් තදබදයක් ඇති අවස්ථාවක රේගුව විසින් අභ්‍යන්තරව සකස් කර තිබූ යාන්ත්‍රණයක් අනුව, භාණ්ඩ ගෙනෙන පුද්ගලයාගේ ඉතිහාසය සලකා බලමින් කන්ටේනර් මුදා හරින ක්‍රමවේදයක් පැවති බවයි.
ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙවැනි සිදුවීමක් වාර්තා වූයේ ඉතිහාසයේ පළමු වතාවට නොවන බවත්, මීට පෙරද එවැනි අවස්ථා දහතුනක් වාර්තා වී ඇති බවත්ය. තවද, මෙම තත්ත්වය වත්මන් රජය බලයට පැමිණි පසු පමණක් සිදුවූ දෙයක් නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මෙම සිදුවීමේදී යම් අඩුපාඩුවක් සිදුව ඇද්දැයි සොයා බැලීමේ වගකීම තමන් සතු බවත්, ආණ්ඩුව සතු බවත් ජනාධිපතිවරයා පවසා සිටියේය. ඒ අනුව, එම අඩුපාඩු සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටු වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යොමු කර ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
මෙම පවතින තත්ත්වය යටතේ පරීක්ෂා කරන භාණ්ඩවලත් පරීක්ෂා නොකරන භාණ්ඩවලත් යම් යම් ගැටළු තිබෙන බව ජනාධිපතිවරයා අවසාන වශයෙන් සඳහන් කළේය.




