
වතුකරයේ ප්‍රබල දේශපාලන පරම්පරාවක වත්මන් පුරුක වන, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා යුග දිවියට එළඹීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඔහුගේ විවාහ මංගල උත්සවය එළඹෙන සතියේදී ඉන්දියාවේ, චෙන්නායි නුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

මෙම මංගල උත්සවය සඳහා ශ්‍රී ලංකාවෙන් දේශපාලනඥයින් කිහිප දෙනෙකුට ආරාධනා ලැබී ඇති අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. අන්තර්ජාලයේ පළවී ඇති වාර්තාවලට අනුව, ජීවන් තොණ්ඩමන් මහතා අතගැනීමට නියමිත මනාලිය දේශපාලන පසුබිමක් සහිත පවුලකින් පැවත එන්නියක් බව පැවසේ. ඇය ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ වී.පී. දුරෙයිසාමි මහතාගේ දියණිය බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.
1994 නොවැම්බර් 9 වන දින උපත ලබා ඇති ජීවන් තොණ්ඩමන් මහතා, මේ වන විට 31 වන වියේ පසුවේ. ඔහු, වතුකරයේ නායකයෙකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ මුණුපුරා වන අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයෙකු ලෙස කටයුතු කළ දිවංගත ආරුමුගන් තොණ්ඩමන්ගේ එකම පුත්‍රයාය.
සිය මූලික අධ්‍යාපනය කොළඹ සහ ඉන්දියාවේ චෙන්නායි හා කොයිම්බතූර් හිදී හැදෑරූ ඔහු, එක්සත් රාජධානියේ නොර්තම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LLB) උපාධියක් ලබා ඇත.
2020 වසරේදී සිය පියාගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසි ජීවන් තොණ්ඩමන්, එම වසරේ පැවති මහ මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
අනතුරුව, වයස අවුරුදු 26දී රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පත් වෙමින්, මෙරට ඉතිහාසයේ ලාබාලතම කැබිනට් සාමාජිකයෙකු වීමේ වාර්තාවට හිමිකම් කීමටද ඔහු සමත් විය. පසුගිය රජයේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් කැබිනට් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේය.




