
ලංකා විදුලි පෞද්ගලික සමාගම (LECO) හි සභාපතිවරයා සඳහා වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්ෂ 800කට (රු. කෝටි 8) අගවන අති සුඛෝපභෝගී Benze කාර් රථයක් ඇණවුම් කර ඇති බව සමාගමේ සේවකයෝ පවසති. මෙම වාහනය ඉදිරි දින කිහිපය තුළ මෙරටට ආනයනය වීමට නියමිතය.

රජයට වැඩි කොටස් හිමි සමාගමක් වන LECO සභාපතිවරයාට පාවිච්චි කිරීමට දැනටමත් Benze රථයක් පවතින අතර, මෙසේ නැවත වාහනයක් ඇණවුම් කිරීම රාජ්‍ය මුදල් අවභාවත කිරීමක් බව සේවකයෝ සඳහන් කළහ. සමාගමේ වෙනත් නිළධාරීන් සඳහා පවතින අවශ්‍යතා සදහා පසුදා BYD වාහන 10කට ආසන්න ප්‍රමාණයකද මිලදීගෙන ඇති බවත් ඔවුන් පවසති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව සමඟ පත්කළ LECO හි හිටපු සභාපති ජානක අලුත්ගේ මහතාගේ කාලයේදී මෙම Benze රථය ඇණවුම් කර ඇති බවද හෙළිවේ. වාහන ආනයන සමාගමකට රිදී (Silver) පාට Benze රථයක් රු. ලක්ෂ 700ක (රු. කෝටි 7) අගයට සැපයීමට හැකිව තිබූ අපේක්ෂාව තිබුණත්, කළු පාට රථයක් ඉල්ලා සිටීම නිසා නව රථයක් විශේෂයෙන් ඇණවුම් කළ බවත් සේවකයෝ පවසති.
‘මාලිමා’ ආණ්ඩුව පත්වීමෙන් පසුව LECO සභාපති ධුරය දැරූ අතුල සිල්වා මහතා ඉවත් කර ජානක අලුත්ගේ මහතා පත්කළ අතර, ඉන් අනතුරුව ඔහුද ඉවත් කර වර්තමාන සභාපති ලෙස ඉංජිනේරු කනිෂ්ක ජයසේකර මහතා පත් කරනු ලැබීය. ඔහු සභාපති ධුරයේ වැඩ ආරම්භ කර ඇත්තේ දින කිහිපයකට පමණ වේ.
LECO හි පෙර සභාපතිවරු 2009 සහ 2013 දී මිලදීගත් සුපිරි වාහන අද දක්වා සෘජුවම හොඳ තත්ත්වයේ පවතින බවත්, මෙම පවත්නා වාහන භාවිතයට නොගෙන අධික මිල ගෙවා අලුත් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සාධාරණ නොවන බවත් සේවකයෝ පෙන්වා දෙති.
විදුලිබල අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරය දරන බැවින්, LECO අධ්යක්ෂ මණ්ඩලයත් නියෝජනය කරයි. ඔහුගේ ප්‍රධාන භූමිකාව සැලකිල්ලට ගත් විට, මෙවැනි වියදම් රාජ්‍යයටත් පාරිභෝගිකයන්ටත් බර වන බව සේවකයෝ ප්‍රකාශ කරති. LECO සපයන සේවාවන්ට දැනටමත් ඉහළ ගාස්තු අයකරන බවත් ඔවුන්ද කියති.
මෙම Benze රථය පිළිබඳ විමසීමකදී වර්තමාන සභාපති කනිෂ්ක ජයසේකර මහතා පැවසුවේ, රථය ඇණවුම් කර තිබුණත් තවම ලැබී නොමැති බවයි. එය තමන්ගේ කාලයේ ඇණවුම් කළ රථයක් නොවන අතර, තමන් ධුරයේ වැඩ ආරම්භ කරෙහි දින කිහිපයකට පමණක් බවත් ඔහු කියාසිටියේය.
රථය පිළිබඳ ගැටලුවක් හට ගතහොත් එය තමා පාවිච්චි නොකරන බවත්, නියමිත ක්‍රියා පටිපාටියට අනුව ඇණවුම් වී ඇතිද යන්න විමසිලිමත්ව සොයා බලන බවත් ඔහු තවදුරටත් සඳහන් කළහ.
තමන් පුරා කාලයක් සුපිරි වාහන පාවිච්චි කළ උසස් නිලධාරියෙක් වන නිසා මෙම රථය පාවිච්චි කිරීමට පුද්ගලික අවශ්‍යතාවක් නොමැති බවත්, එය වෙනත් කෙනෙකුට අවශ්‍ය නම් භාර දෙන බවත් ඔහු පවසයි.
හිටපු සභාපති ජානක අලුත්ගේ මහතාගෙන් විමසූ විට, මෙම රථය ඇණවුම් කළේ කවුද, හේතුව කුමක්ද යන්න ගැන දැනට සිටින නිලධාරීන්ගෙන් විමසිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.




