
ආපදාවට ලක්ව විනාශ වී ඇති රථවාහන ලියකියවිලි එහි හිමිකරුවන්ට නැවත සකසාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා දිවයිනට ඊයේ (03දා) පැවසීය. ආපදාවෙන් බිඳවැටී තිබූ පරිගණක පද්ධතිය ද යථා තත්ත්වයට පත්කර ඇති නිසා රියැදුරු බලපත්‍ර ලබාදීම ආරම්භ කළ බවද ඒ මහතා කීය.

රථවාහන සම්බන්ධව විනාශ වී ඇති ලියකියවිලි සකස්කර දීම සඳහා අදාළ පොලිසිය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග එක්ව ඉදිරියේදී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බවද අමරසිංහ මහතා පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර පරිගණක පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කර ඇති නිසා වේරහැර ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පිහිටි සියලු දිස්ත්‍රික් කාර්යාලවල රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවද ඒ මහතා කීය.
පද්ධති දෝෂය සහ කාලගුණය හේතුවෙන් අවලංගු වූ නොවැම්බර් 27 පැවැත්වීමට තිබූ විභාගය දෙසැම්බර් 08 වැනිදාත්, නොවැම්බර් 28 පැවැත්වීමට තිබූ විභාගය දෙසැම්බර් 09 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම විභාගයන්, අයදුම්කරු වේලාව වෙන්කර ගැනීමේ ලේඛනයේ සඳහන් වේලාවේදී පැවැත්වේ.
පද්ධති බිඳවැටීම හේතුවෙන් නොවැම්බර් 27, 28 දෙසැම්බර් 01, 02 දිනවල වේලාවන් වෙන්කරවා ගෙන සිටි සේවාලාභීන්ට ඉදිරි සති දෙක තුළ වැඩකරන ඕනෑම දිනයක පැමිණ තමන්ට අදාළ සේවාවන් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. වැඩි විස්තර 070 – 7188866 වට්ස් ඇප් අංකයෙන් විමසීම් කළ හැක.




