
2020.01.08 වැනිදා අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා රජයට ලබාදීමට ගිවිසුම් ගත වූ ඇමරිකානු ඩොලර් මිලියන 1000ක ණය මුදල ලබාගැනීමට අදාළ කටයුතු සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස තමාව පත් කළ බවත් එකල අප රට විදේශ රටවලින් ලබාගත් ණය ගෙවීමට නොහැකි බංකොළොත් රටක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබූ බවක් තමා නොදන්නේ යැයි මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. එම්. පී. රත්නායක මහතා විත්තියේ නීතිඥ රහුල් ජයතිලක මහතා නැඟූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

ලෝකයේ සියලුම රටවල් පාහේ ශ්‍රී ලංකාවට කිසිදු ණය මුදලක් ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබියදී ශ්‍රී ලංකාවට එවැනි ණය මුදලක් එකඟ වූ එකම රට ඉන්දියාව නොවන්නේ දැයි නව වැනි විත්තිකාර වෛi ජයනාත් බුත්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා හරස් ප්‍රශ්න නඟමින් එම සාක්ෂිකරුට යෝජනා කළ අතර හැම රටක්ම එලෙස ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට විත්තිය කරන යෝජනාවට පිළිතුරු දිය හැක්කේ අදාළ ලේඛන පරිශීලනය කිරීමෙන් අනතුරුව බවත් ඒ බව සැබෑ ලෙසම දැනගත හැක්කේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් වන්නේ යැයි ද එම සාක්ෂිකරු පැවසීය. එකී ඉන්දියානු ණය යෝජනා ක්රමයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා ලෙසත් මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ලෙසත් කටයුතු කළ සාක්ෂිකරු එවන් සුවිශේෂී කරුණු හෝ නොදැන සිටින බවට හා ඒ පිළිබඳව නිශ්චිතව නොදන්නා බවට ගරු අධිකරණය හමුවේ දිවුරුම් පිට සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටීම පිළිගත හැක්කේ දැයි විත්තියේ නීතිඥවරයා එම සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
සාක්ෂිකරු : ස්වාමිනි මම දැන් විශ්‍රාම ගිහින් අවුරුදු දෙකක් විතර වෙනවා. මට ඒ ගැන හරියටම මතක නෑ.
නීතිඥ : ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ එකී ණය මුදල ලබාගැනීමේ කාලය දීර්ඝ කිරීමට කිසිම බලධාරියකු සමග සාකච්ඡාවක් තිබුණේ නෑ කියලා මම ඔබට යෝජනා කරනවා.
සාක්ෂිකරු : මම එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.
නීතිඥ : ඒ බව සනාථ කරන්න අවශ්‍ය ලේඛන කිසිවක් ඔබ අධිකරණයට ඉදිරිපත් කරලා නෑ. කවුද එම සාකච්ඡාව කළේ. එම කාලය දීර්ඝ කරගැනීම සඳහා 2022 සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී කළ බව මම යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකරු : හරියටම දින මතක නෑ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව තමයි එම සාකච්ඡා කළේ.
වි/ නීතිඥ : රහුල් ජයතිලක මහතා : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එවැනි ඉල්ලීමක් කරන්න ඇත්තේ එකී ණය මුදලින් සම්පූර්ණයෙන්ම වඩාත් ඵලදායි ලෙස ප්‍රයෝජන ගැනීමේ අරමුණින් නේද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : සාක්ෂිකරුගෙන් කටට උත්තරය දීලා ඔව් නේද? නෑ නේද? කියලා හරස් ප්‍රශ්න බෑ.
නීතිඥ රහුල් ජයතිලක මහතා : ඔබතුමිය කියන්න ඕන නෑ එතුමා ඒකට උත්තර දෙයි ඔව් නම් ඔව් කියයි නැතිනම් නෑ කියයි.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා : කිව්වේ නෑ නේද වගේ හැඟෙන ලෙස ප්‍රශ්න අහන්න බෑ.
දස වැනි විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා : ලංකා රජය හා ඉන්දියානු රජය අතර ඇති කරගත් ණය ගිවිසුමේ සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර්වලින් එම ණය ආපසු ගෙවිය යුතුයි කියලනේ?
සාක්ෂිකරු : ඒක හරියට මතක නෑ.
ජනාධිපති නීතිඥවරයා : ණය මුදලේ උපයෝජනය අවසන් වූ පසු උපයෝජන හා උපයෝජිත මුදල ලෙස සටහන් වෙන්නේ ඇමරිකානු ඩොලර්වලින්නේ. දෙරට අතර ඇති කරගත් ගිවිසුම අනුව එකී ණය මුදල බැංකු ගත වී තිබුණේ ඉන්දියානු රාජ්‍ය බැංකුවේ නේද?
සාක්ෂිකරු : ඔව්
ජනාධිපති නීතිඥවරයා : නේබර් ෆස්ට් (අසල්වැසියාට ප්‍රමුඛතාවය) කියන සංකල්පය මත ඉන්දියාව එම අර්බුදකාරි අවස්ථාවේදී අපේ රටට උදව් කළා. ඔබ නිකුත් කළ ලිපිවල සඳහන් කොට තිබුණා ක්‍රයිසීස් කියන ඉංග්‍රීසි වචනය ක්‍රයිසීස්
කියන ඉංග්‍රීසි වචනයේ තේරුම මොකක්ද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : ඒ ප්රශ්නය සාක්ෂිකරුගෙන් අහනවාට මම විරුද්ධයි. මොහු මෙම නඩුවේ සාක්ෂිකරුවෙක් වුණාට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව විශාරදයෙක් නෙමෙයිනේ. අද පත්තරයක තිබුණා මේ සාක්ෂිකරුගේ සාක්ෂි හෑල්ලුවට අවතක්සේරුවට ලක්වන ආකාරයේ ප්‍රවෘත්තියක්.
ජනාධිපති නීතිඥවරයා :
ඔබ අදාළ සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානියා එමෙන්ම මුදල් අමාත්‍යංශයේ අතිරේක භාණ්ඩාගාර ලේකම් ලෙස කටයුතු කළ දැන උගත් ඒ පිළිබඳව දැනුමක් තියෙන අයෙක්.
සාක්ෂිකරු : මම අදහස් කළේ ක්‍රයිසීස් කියන වචනයෙන් ආර්ථික ගැටලු කියන එකයි.
ජනාධිපති නීතිඥවරයා : ක්‍රයිසීස් කියන්නේ අර්බුදයක් කියන එක නේද?
සාක්ෂිකරු : එහෙම විග්රහ කරන්නත් පුළුවන්. එහිදී හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා පැමිණිල්ලේ 182 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා :
එකී ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි අවශ්‍යතාවක් ලෙස ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් මුලින් වෙන්කර තිබුණා. පසුව එම මුදල් ඇමෙරිකානු ඩොලර් 360 දක්වා වැඩිකර තිබුණා නේද? ඔබට ඒ පිළිබඳව අවබෝධයක් තිබෙනවාද?
සාක්ෂිකරු : එහෙමයි ස්වාමීනි.
වි.නීතිඥ : 2023.3.31 වනදින අවසන් වීමට නියමිතව තිබූ ඉන්දියාව හා ලංකා රජය අතර ඇතිකරගත් ගිවිසුමේ කාලය 2024.3.31 දක්වා දීර්ඝ කිරීමක් සිදුවුණා කියලා මා යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකරු : එහෙමයි ස්වාමීනි.
වි.නීතිඥවරයා : ඒ ගිවිසුම් කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන විට ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් කොපමණ මුදලක් සම්පූර්ණයෙන්ම උපයෝජනය වෙලා තිබුණාද? කොපමණ මුදලක් ඉතිරිවී තිබුණාද?
සාක්ෂිකරු : ඇමෙරිකානු ඩොලර් 522 ක් ඉතිරිවී තිබුණා.
නඩු විභාගය ආරම්භ කිරීමට පෙර හතර වන විත්තිකාර වෛi සැපැයුම් අංශයේ ගණකාධිකාරිවරයා ලෙස කටයුතු කළ මරක්කල මානගේ නිරාන් ධනංජය මහතා හා පස්වන විත්තිකාර වෛi සැපැයුම් අංශයේ තොග පාලක ලෙස සේවය කළ සුජිත් වසන්ත කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක සේරසිංහ මහතා එම විත්තිකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමක් සිදුකිරීමට විනිසුරු මඬුල්ලෙන් අවසර ඉල්ලා සිටියේය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක සේරසිංහ මහතා:
ස්වාමිනි මෙම විත්තිකරුවන් දෙදෙනාට රජයේ සේවකයන් ඔවුනට එරෙහිව සිදුකළ අභ්‍යන්තර විගණන පරීක්ෂණවලින් හා විනය පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ව යළි සේවයේ පිහිටවලා තියෙන්නේ. පස්වන විත්තිකරු මේ වනවිට කරාපිටිය මූලික රෝහලේ ඖෂධවේදියෙක් ලෙස රාජකාරි කරනවා. ඔහුගේ බිරිඳ ගැබිනි මවක්. ඇය ඉතා සංකූලතා සහිත රෝග තත්ත්වවලින් පෙළෙන කාන්තාවක්. ඔවුන් දෙදෙනා පමණයි නිවසේ ජීවත්වන්නේ. බිරිඳට දැඩි ලෙස අසනීප වන අවස්ථාවලදී මගේ සේවාදායකයාට නිසි වෙලාවට මෙම අධිකරණයට පැමිණීමට නොහැකි වනවා. එමෙන්ම ඔහු අධිකරණයට පැමිණි බව සනාථ කරන්න රාජකාරි කරන ස්ථානයට පැමිණීමේ සහතික ඉදිරිපත් කරන්න සිදුවෙනවා. ඒ නිසා ඉල්ලුම් කළ විට අදාළ සහතික විත්තිකරුවන්ට ලබාදෙන ලෙසට රෙජිස්ට්‍රාර්වරියට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටිනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියඃ නීතිපතිවරයා අධිචෝදනා පත්‍ර ගොනු කොට මහාධිකරණයක් හමුවේ නඩු පැවරූ පසු කුමන තරාතිරමේ රජයේ සේවකයකුට වුවත් යළි රාජකාරි කරන්න බෑ. ආයතන සංග්‍රහය අනුව එහෙම රාජකාරි කරන්න බෑ. ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසා සතියක කාලයක් ඇතුළත ඔබතුමාගේ අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නම්.
අධිකරණය: ඉල්ලුම් කළවිට කාර්ය සටහන් ලබාගැනීමට විත්තිකරුවන්ට අවසර තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් ව්‍යපහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13ක් යටතේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය අද (10) දක්වා කල්තැබීමට ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.
දිවයින




