
2026 T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගයට සහභාගී නොවීමට මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කර ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මතභේද අතහැර ඊට සහභාගී වීමට තීරණය කළ බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල් අසීස් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදිහත් වීම ප්‍රශංසනීය බව ද ඔහු සඳහන් කළේය.
ඒ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යෑමට පෙර ඊයේ (10) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූ අවස්ථාවේදීය.
මෙම තීරණයට එළඹීම සම්බන්ධයෙන් දින තුනක් පුරා පවත්වන ලද රාජතාන්ත්‍රික සාකච්ඡා සහ දුරකථන සංවාද සම්බන්ධීකරණය කිරීමේදී පාකිස්තාන මහ කොමසාරිස්වරයා දැක්වූ කඩිනම් ප්‍රතිචාර වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සිය ස්තුතිය පළ කළේය.
එමෙන්ම T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති අවිනිශ්චිත තත්ත්වයන් ගණනාවක් නිරාකරණය කිරීමට විදේශ අමාත්‍යවරයා වශයෙන් විජිත හේරත් මහතා අඛණ්ඩව ගත් රාජතාන්ත්‍රික උත්සාහය ද ෆාහිමුල් අසීස් මහතාගේ ඇගයීමට ලක් විය.
තමා මහ කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය ඉතා ප්‍රියජනක මෙන්ම සාර්ථක කාලයක් වූ බවත්, ඒ සඳහා විදේශ අමාත්‍යවරයාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු සහාය අනර්ඝ බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තමාගේ සේවා කාලය තුළ 2024 දී ශ්‍රී ලංකාව තුළ ඉතා සාධාරණ හා විශිෂ්ට මැතිවරණ දෙකක් පවත්වනු දුටු බවත් ඒ පිළිබඳව තමා පෞද්ගලිකව සතුටු වන බවත් ඒ මහතා සඳහන් කළේය.




