
ව්‍යාජ ලෙස ඔප්පු සකසා අන්සතු ඉඩමකින් පර්චස් තිහක් අලෙවි කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරුවන් වූ නීතිඥවරයකුට හා ඉඩම් හිමියාගේ කළමනාකරු ලෙස කටයුතු කළ විත්තිකරුට වසර 16 බැගින් සිරදඬුවම් නියම කොට එකී සිරදඬුවම වසර 10 කින් ගෙවී යන ලෙසට ලබාදීමට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනෙවිය ඊයේ (18දා) නියෝග කළාය.

එයට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් එක්ලක්ෂ අසූදහස බැගින් වූ දඩ මුදලක් ද නියම කළ විනිසුරුවරිය රුපියල් ලක්ෂ අට බැගින් අගතියට පත් පාර්ශ්වයට වන්දි ගෙවන ලෙසද නියෝග කළාය. එකී වන්දි නොගෙවන්නේ නම් වසර බැගින් අමතර සිරදඩුවම් ලබාදීමට ද විනිසුරුවරිය නියෝග කළාය.
වයික්කාල ප්‍රදේශයේ පදිංචි ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු නමැති නීතීඥවරයා හා මහවැව ප්‍රදේශයේ පදිංචි රන්පටිදේවගේ සමන් කුමාර නමැති පළමුවන විත්තිකරු එක්ව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ජෝන් සරත් කුමාර තිසේරා නමැත්තාට අයත් එකී ඉඩම් කොටස ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළ බවට පැමිණිල්ලෙන් කියැවිණි. අක්කර තුනකට අධික එම ඉඩම් කොටස් 26 ක් එලෙස ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කොට ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාහිර විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණි. එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු 26 ක් පැවරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබිණි. අධිකරණය විසින් එකී විත්තිකරුවන් වරදකරුවන් බවට නිගමනය කිරීමෙන් අනතුරුව අධිකරණය ඇමැතූ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා මෙලෙස පැවසීය.
“ගරු මැතිනියනී මෙම විත්තිකාර නීතීඥවරයා සිදුකර ඇත්තේ ඉතා ගෞරවනීය වෘත්තියක් වන නීතීඥ වෘත්තියට ඉතාමත් කැළලක් වන ක්‍රියාවක්. නීතීඥ වෘත්තිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නිසයි ඔවුන්ගේ ඉඩකඩම් දේපළවල ඔප්පු නීතීඥවරුන් භාරයේ තියන්නේ මෙවැනි වෘත්තියකට හානි කරන පිරිසට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා ”




