
මිනීමැරුම් චෝදනා එල්ල වී සිටි විත්තිකරුවන් දෙදෙනකුට බලපිටිය මහාධිකරණ විනිසුරු ප්රියන්ත ලියනගේ විසින් මරණ දඬුවම නියම කරන ලදී.

විජයමුණි දර්ශන දිනේෂ් ද සිල්වා (37) සහ ලත්තුවාහන්දි රංග ප්රදීප් ද සිල්වා (41) යන දෙදෙනා 2005 සැප්තැම්බර් 04 වන දින බලපිටියේ මඩුවේදී පෝරවගමගේ මනෝජ් චම්පික කුමාර යන ප්රදේශයේ පදිංචිකරුවෙකු කපා කොටා ඝාතනය කර තිබිණි.
සිද්ධිය වන විට පළමු විත්තිකරුගේ වයස අවුරුදු 16ක් වූ අතර දෙවැනි විත්තිකරුට වයස අවුරුදු 30 කි.
පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදෙමින් පොලිසිය අධිකරණයට පැවසුවේ, මියගිය පුද්ගලයා අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ප්රදේශයේ ත්රිරෝද රථ රියදුරෙකු බවත්, විත්තිකරුවන් ගමනක් යන මුවාවෙන් තම ත්රිරෝද රථය කුලියට ගෙන ඇති බවත්, අතරමගදී ඔහුව කපා කොටා ඝාතනය කළ බවත්ය.
වරදකරු කිරීම සඳහා සාධාරණ සැකයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ස්ථාපිත කළ බව විනිසුරුවරයා තීරණය කළේය.




