
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කුලී ඝාතකයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව අම්බලන්ගොඩ, දෙල්දුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මොහු කොටුකර ගැනීමට හැකි වී ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු අනාවරණය කර ඇති කරුණු අනුව, මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක ණය මුදලකට හිලව් වන්නටය. තම සහෝදරයාගේ දියණියගේ වැඩිවිය පත්වීමේ මංගල්‍යය සඳහා “කරන්දෙණියේ සුද්දා” නැමැත්තාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ දෙකක මුදල වෙනුවෙන් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාරගත් බව සැකකරු පාපොච්චාරණය කර තිබේ.
විමර්ශනවලදී හෙළි වූ ප්‍රධාන කරුණු:
හමුදා පුහුණුව: අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරු බද්දේගම පදිංචිකරුවකු වන අතර, ඔහු හමුදාවෙන් පලාගිය දක්ෂ වෙඩික්කරුවෙකි. පසුව 2009 වසරේදී ඔහු නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වී ඇත.
මිතුදම සහ කෘතගුණ සැලකීම: සැකකරු සහ කරන්දෙණියේ සුද්දා හමුදාවේ එකට සේවය කර ඇති මිතුරන් බව හෙළි වී තිබේ. මීට පෙර සැකකරු සිරගතව සිටියදී ඔහු වෙනුවෙන් ඇප තැන්පත් කර බේරාගෙන ඇත්තේ ද කරන්දෙණියේ සුද්දා විසිනි. එම කෘතගුණ සැලකීමක් ලෙස මෙම ඝාතනය සිදු කිරීමට ඔහු එකඟ වී ඇත.
ඝාතන සැලසුම: ප්‍රහාරයට පෙර වියදම් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී ඇති අතර, ඝාතනය සිදුවූ දින උදෑසන වනතුරුත් තමන් මරා දැමීමට යන්නේ කවුරුන්ද යන්න සැකකරු දැන සිට නැත.
පලායෑම: ඝාතනයෙන් පසු ටී-56 අවිය රැගෙන බස් රථයකින් අම්බලන්ගොඩ බලා ගොස් ඇති සැකකරු, එහි සිය සහෝදරයාගේ නිවසේ සැඟවී සිටිමින් කුලී වැඩ කරමින් ජීවත් වී ඇත.
සෙසු සැකකරුවන් සහ ප්‍රවාහනය:
මෙම ප්‍රහාරය සඳහා පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර, පිස්තෝලයකින් වෙඩි තැබූ අනෙක් පුද්ගලයා “රූබන් සුරේෂ්” නැමැති අයෙක් බව හඳුනාගෙන තිබේ. ඔහු මිනිස් ඝාතන 10කට පමණ සම්බන්ධ අයකු බවට සැක කෙරෙන අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මකය.
මේ අතර, ඝාතකයන් ප්‍රවාහනය කළ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මේ වන විට තායිලන්තයට පලාගොස් ඇති බවත්, ඔහු භාවිතා කළ මෝටර් රථ දෙකක් පොලිස් භාරයට ගත් බවත් වාර්තා වේ.




