
ශ්‍රී ලංකාවේ වගාවන් විනාශ කළ හැකි අතිශය භයානක කෘමීන් සහ පුස් වර්ගයක් අඩංගු බවට තහවුරු වූ ආනයනික මල් රැගත් කන්ටේනර් 12ක්, අදාළ පර්යේෂණ වාර්තා නිකුත් වීමටත් පෙර බලධාරීන්ගේ වාචික නියෝග මත නිදහස් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී (21) බරපතළ හෙළිදරව්වක් කළේය.

මන්ත්‍රීවරයා සඳහන් කළේ 2026 ජනවාරි මස 12 වන දින එක්තරා සමාගමක් විසින් මෙරටට ආනයනය කරන ලද Chrysanthemum වර්ගයේ මල් සහිත කන්ටේනර් පරීක්ෂා කිරීමේදී, ඒවායේ කෘමීන් සහ පුස් වැනි මලකඩ ස්වභාවයක් ඇති බවට නිරෝධායන නිලධාරීන් විසින් සටහන් යොදා තිබූ බවයි. කෙසේ වෙතත්, කෘෂිකර්ම අධ්‍යක්ෂවරියගේ වාචික උපදෙස් මත ඉන් කන්ටේනර් 12ක් වහාම නිදහස් කර ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
පසුව ජාතික ශාක නිරෝධායන සේවය මගින් සිදු කළ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ එම මල් සාම්පලවල ‘සුදු මැස්සා’ සහ අතිශය විනාශකාරී දිලීර විශේෂයක් පවතින බවයි. එම රෝගකාරක ඉතා ඉක්මනින් වගාවන් කරා ව්‍යාප්ත විය හැකි බැවින්, අදාළ කොටස් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ විනාශ කරන ලෙස නිර්දේශ කර තිබුණද, ඒ වන විටත් කන්ටේනර් 12ක් රට තුළට මුදා හැර අවසන් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
1999 අංක 35 දරන රෙගුලාසිවල 96 වන වගන්තියට අනුව, මෙරටට ආනයනය කරන කන්ටේනර්වල කිසියම් හෝ ජීවී කෘමියෙකු සිටියහොත් එය වහාම විනාශ කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදන පවතී.
එසේ තිබියදීත් මෙම දූෂිත කන්ටේනර් නිදහස් කිරීමට එරෙහිව දෙ
පාර්තමේන්තුවේ නිලධාරීන් 36 දෙනෙකු අත්සන් කර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවද මන්ත්‍රීවරයා හෙළි කළේය.
විශේෂයෙන්ම මෙම ‘සුදු මැස්සා’ වැනි කෘමීන් නිසා ශ්‍රී ලංකාවේ අඹ සහ කරවිල වැනි එළවළු හා පළතුරු යුරෝපීය වෙළඳපොළට යැවීමට නොහැකි වී ඇති බවත්, මෙවැනි නව කෘමීන් හා රෝගකාරක ඇතුළුවීම දේශීය කෘෂිකර්මාන්තයට මාරාන්තික පහරක් වන බවත් ඩී.වී. චානක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සමාගම විසින්ම මීට පෙර අවස්ථා අටකදී මෙවැනි කන්ටේනර් 100කට අධික ප්‍රමාණයක් මෙරටට රැගෙන විත් ඇති බවටද ඔහු චෝදනා කළේය.




