
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවා දැනට හඳුනාගෙන සිටින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ නොවන බවත්, බලයට ඒම සඳහා මිනී මතින් ගිය දේශපාලන වුවමනාවක් සහිත සැබෑ මහ මොළකරුවෙකු මීට පිටුපසින් සිටින බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් බන්ධනාගාරයට ගොස් පිල්ලෙයාන් හමුවූ බවයි.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී සතියක් ඇතුළත ඔහුව නිදහස් කරන බවට ඔවුන් පොරොන්දු වී ඇති බවද හෙතෙම අනාවරණය කළේය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් ප්‍රහාරයට පෙර නිදහස් කරගැනීම සඳහා රාජ්‍ය බුද්ධි අංශයේ මුදල් රුපියල් 250,000ක් ගෙවා ඇති බවට තොරතුරු පවතින බව ජයසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
දැනට ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුන්වනු ලබන සුරේෂ් සලේ විසින් ප්‍රහාරයෙන් පසුව අසාත් මවුලානා සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසකට උපදෙස් ලබාදී ඇති බවටද ඔහු චෝදනා කරයි.
කෙසේ වෙතත්, සුරේෂ් සලේ යනු මෙම දැවැන්ත කුමන්ත්රණයේ එක් පුරුකක් පමණක් බවත්, ප්‍රහාරය පිටුපස තිබූ සැබෑ අරමුණ වූයේ මිනී මතින් බලය ලබාගැනීමේ දේශපාලන වුවමනාව බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය




