
විදේශීය ආයෝජකයින් සතු ශ්‍රී ලංකා භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම ගතවූ සතිය තුළදී සියයට 3.32 කින් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, 2026 මැයි 22 දිනෙන් අවසන් වූ සමාලෝචිත සතිය තුළදී රුපියල් වටිනාකම අනුව විදේශීය ආයෝජකයන් සතු රාජ්‍ය ණය සුරැකුම්පත් ප්‍රමාණය මෙලෙස පහත වැටී ඇත.

මෙය දේශීය මුල්‍ය වෙළඳපොළ තුළ විදේශීය ආයෝජන රඳවා ගැනීමේ පවතින දුර්වලතාවයක් මෙන්ම ආයෝජන ඉවත් කරගැනීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන්නක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. විදේශීය ආයෝජන මෙලෙස පහත වැටී ඇති පසුබිමක, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ආශ්රිත ද්විතීයික වෙළඳපොළ ගනුදෙනුවල සමස්ත පරිමාව ඊට පෙර සතියට සාපේක්ෂව සියයට 22.8 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, ගතවූ සතිය තුළ ප්‍රාථමික මෙන්ම ද්විතීයික වෙළඳපොළෙහි භාණ්ඩාගාර බිල්පත් ඵලදායීතාවන් පුළුල් ලෙස ස්ථාවර මට්ටමක පැවති බව මහ බැංකුව පවසයි. එසේම, එම සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා නියමිත ප්‍රමාණයට වඩා 1.7 ගුණයක ඉහළ ඉල්ලුමක් වාර්තා වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කරවල ද්විතීයික වෙළඳපොළ ඵලදායීතාවන්හි පමණක් සුළු ඉහළ යෑමක් වාර්තා වී ඇත.
විදේශීය ආයෝජන මෙලෙස ණය වෙළඳපොළෙන් ඉවත් වීම කෙරෙහි බලපා ඇති අනෙකුත් ආර්ථික සාධක දෙස බැලීමේදී, වසරේ මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 7.2 කින් අවප්‍රමාණය වී තිබීම ප්‍රධාන වේ. එමෙන්ම වාණිජ බැංකු අතර මුදල් හුවමාරු කරගන්නා සාමාන්‍ය බරිත ඇමතුම් මුදල් අනුපාතිකය ද සියයට 7.79 සිට සියයට 7.92 දක්වා ඉහළ ගොස් ඇත.
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ද ගතවූ සතියේදී සියයට 4.26 කින් කඩා වැටී ඇති පසුබිමක , භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වැනි සුරක්ෂිත රාජ්‍ය සුරැකුම්පත්වලින් පවා විදේශීය ආයෝජන සියයට 3.32 කින් අඩුවීම රටේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය යුතු කරුණක් බව පෙනී යයි.




