
මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ගණන් සහ ආනයන පරිමාව ඉහළ යාම නිසා 2026 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 536ක් දක්වා දක්වා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුවේ නවතම විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව, එය 2025 මැයි මාසයේ පැවති ඩොලර් මිලියන 252.8ට සාපේක්ෂව සියයට 112ක වාර්ෂික වර්ධනයකි.

මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම ඉහළ යාම බව වාර්තාව සඳහන් කරයි.
2025 මැයි මාසයේදී පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 197.2ක් වූ අතර, 2026 මැයි මාසයේදී එය ඩොලර් මිලියන 418.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම බොරතෙල් ආනයන වියදම 2025 මැයි මාසයේ ඩොලර් මිලියන 55.5 සිට 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 94.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 70.9ක වර්ධනයකි.
ගල්අඟුරු ආනයන වියදමද 2025දී පැවති ඩොලර් මිලියන 0.1 සිට 2026දී ඩොලර් මිලියන 22.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එහි වෙනස ප්‍රතිශතයක් ලෙස 30,220%ක් ලෙස මහ බැංකුව සඳහන් කරයි.
2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සමස්ත ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 2,703.7ක් වූ අතර, 2025 වසරේ එම කාලය තුළ එය ඩොලර් මිලියන 1,664.2ක් ලෙස වාර්තා විය. ඒ අනුව සියයට 62.5ක වර්ධනයක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත්, 2026 මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 39.5කින් අඩු වී ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.





