
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ පුදබිමක් වන සාරානාත් ස්මාරකය, නිල වශයෙන් යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මෙය මෙම ලැයිස්තුවට එක් වූ ඉන්දියාවේ 45 වැනි ස්මාරකය බව සඳහන් වේ.
වරනාසිය අසල පිහිටි සාරානාත් ස්මාරකය යනු බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම දහම් දෙසුම හෙවත් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ බුදුදහම ආරම්භ වූ පූජනීය භූමියයි.
බුද්ධත්වයට පත්වීමෙන් පසු, බුදුරජාණන් වහන්සේ තමන් වටහාගත් සත්‍යය ලෝකයාට දේශනා කිරීමට තීරණය කළ අතර, ඒ සඳහා බරණැස අසල පිහිටි සාරානාත් වනය තෝරා ගත්හ.
උන්වහන්සේ තමන් සමඟ සිටි පස්වග මහනුන් අමතමින් ‘ධම්මචක්කප්පවත්වන සූත්‍රය’ දේශනා කළ අතර, එයින් බුදුදහමේ මූලධර්ම වන ආර්ය සත්‍යය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෝකයට දායාද විය.
වරනාසියේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි සාරානාත් පුදබිම අද වන විටත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතුව සංරක්ෂණය කර ඇත.
බුදුන් වහන්සේ ප්‍රථම දම්සක් දෙසුම පූජා කළ ස්ථානය සනිටුහන් කරන ධමේඛ ස්ථූපය , මුලගන්ධකුටි විහාරය සහ චෞඛණ්ඩි ස්ථූපය මෙහි විශේෂ ස්ථාන ගනී.
ක්‍රිස්තු පූර්ව 273ත් 232ත් අතර කාලයේදී අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද සිංහ ස්තම්භය මෙහි ඇති තවත් වැදගත් අංගයකි.
එහි ඇති සිංහ මූර්තිය වර්තමානයේ ඉන්දියාවේ ජාතික ලාංඡනය ලෙස භාවිත කෙරේ.




