
පෞද්ගලික ආයතනයකින් පරිසරයට නිකුත් වී ඇති රසායනික ද්‍රව්‍ය පානීය ජලයට මුසුවීම වැළැක්වීමට කටයුතු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, ඊයේ (24) සවස මේ පිළිබඳ දැනගැනීමට ලැබුණු බවත් ඒ අනුව වහාම ගතයුතු ක්‍රියාමාර්ග ගත් බවත්ය.
කෙසේවෙතත් අදාළ රසායනික ද්‍රව්‍ය විෂ රහිත බවට කරුණු අනාවරණය වී ඇති අතර, ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ මෙම හදිසි තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය කටයුතු කළේය.
කෙසේ වෙතත් පසුව ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව අදාළ තත්ත්වය නිරාකරණය කළ බවත් ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශය පරිදි රසායනාගාර පරීක්ෂණ සිදුකර නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීමෙන් අනතුරුව, ජල සැපයුම නැවත බෙදාහැරීම සඳහා කටයුතු සිදුකළ බවද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසීය.




