
කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක ක්‍රේප් බැන්ඩේජ් (Crepe Bandage) ඇතුළු ශල්‍යකර්ම සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණවල හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ශල්‍යකර්ම සඳහා රෝහල්ගත වන රෝගීන් ඇතුළු පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි.
වෛද්‍ය සැපයුම් ඒකකය මගින් අවශ්‍ය බැන්ඩේජ් ඇතුළු ශල්‍ය උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවද ඔහු සඳහන් කරයි.
රෝහල් අසල ඖෂධහල්වලින් මිලදී ගැනීමට අවසර
මෙවැනි හිඟ තත්ත්වයන්ට මුහුණදීම සඳහා ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ රෝහල් අසල පිහිටි ඖෂධහල්වලින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට ප්‍රතිපාදන වෙන්කර තිබුණද, ඇතැම් රෝහල්වල එම ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වලද මෙම තත්ත්වය දක්නට ලැබෙන බව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන් තුවාල සඳහා ඖෂධ යෙදීමේදී, ශල්‍යකර්මවලින් අනතුරුව තුවාල ආවරණය කිරීමේදී සහ අස්ථි ශල්‍යකර්මවලින් පසු ආධාරකයක් ලෙස භාවිත කරන බැන්ඩේජ් වර්ගවල හිඟයක් පවතින බවද ඔහු කියා සිටී.
මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවල රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් අදාළ බැන්ඩේජ් වර්ග බාහිර ඖෂධහල්වලින් මිලදීගෙන රැගෙන එන ලෙස රෝගීන්ට දැනුම් දෙන බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනාවරණය කළේය.
අඩු ආදායම්ලාභී රෝගීන්ට දැඩි බලපෑමක්
රෝගීන්ගේ සාත්තු සත්කාර සඳහා සහාය වීමට කිසිවෙකු නොමැති අවස්ථාවලදී බාහිර ඖෂධහල්වලින් අවශ්‍ය ශල්‍ය උපකරණ සොයා ගැනීමද දුෂ්කර වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
එහිදී විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී රෝගීන්ට මෙම තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ල වන බවද ඔහු සඳහන් කළේය.
2027 වසර ගැනත් අනතුරු ඇඟවීමක්
මේ අතර, 2027 වසර සඳහා අවශ්‍ය වෛද්‍ය සැපයුම් සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අඩාල වී ඇති බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේදී පැවති බරපතළ ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය ලබන වසරේදී යළිත් ඇතිවීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් වෛද්‍ය සැපයුම් සහ ශල්‍ය උපකරණ සම්බන්ධයෙන් පවතින ගැටලු කඩිනමින් විසඳීමට අවධානය යොමු කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.




