
ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කර තිබූ දෙවන විමලධර්මසූරිය රජු විසින් පූජා කළ බව කියන පෞරාණික දළදා කරඬුව ඉවත් කර ඒ වෙනුවට නව කරඬුවක් ආදේශ කිරීම බරපතළ මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි ඓතිහාසික හා පූජනීය වස්තූන් කිසිදු පාර්ශ්වයකට හිතුමතේ වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට අයිතියක් නොමැති බවයි.
මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයේ මහානායක මාහිමිපාණන් වහන්සේලා මෙන්ම දියවඩන නිලමේවරයාද දළදා මාලිගාවේ උරුමයන්හි තාවකාලික භාරකරුවන් පමණක් බවත්, ඔවුන් එහි අයිතිකරුවන් නොවන බවත් නෙරංජන් විජයරත්න මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විහාර දේවාලගම් පනත සහ පුරාවිද්‍යා ආඥා පනත යටතේ පවතින නීතිමය ප්‍රතිපාදනවලට පටහැනිව මෙවැනි කටයුතු සිදුකිරීමට කිසිදු පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවයි.
“මෙය පිත්තල කරඬුවක් නොවේ”
ක්‍රිස්තු වර්ෂ 1687 සිට 1707 දක්වා රජකම් කළ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් පූජා කරන ලද බව පැවසෙන මෙම ඓතිහාසික කරඬුව, ඇතැම් පාර්ශ්ව සඳහන් කරන ආකාරයට පිත්තල කරඬුවක් නොවන බවද නෙරංජන් විජයරත්න මහතා ප්‍රකාශ කළේය.
එය ඝන රිදියෙන් නිමවා රන් ආලේපිත කර සකස් කරන ලද අතිශය දුර්ලභ පෞරාණික වස්තුවක් බව ඔහු සඳහන් කළේය.
රජවරුන් විසින් පූජා කරන ලද මෙවැනි ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම වෙනුවට ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීම බරපතළ කරුණක් බවද ඔහු පෙන්වා දුන්නේය.
කරඬුවේ ආරක්ෂාව ගැනත් සැකයක්
දියවඩන නිලමේවරයාගේ භාරයේ පවතින ප්‍රධාන කරඬුවක් මෙලෙස පිටතින් සකස් කර රැගෙන ඒම සම්බන්ධයෙන් එහි ආරක්ෂාව පිළිබඳවද බරපතළ සැක සංකා මතුවන බව හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කළේය.
අතීතයේ මෙවැනි පූජනීය වස්තූන් නිර්මාණය කර තිබුණේ දැඩි රාජකීය ආරක්ෂාවක් යටතේ රජවාසල තුළ බවද ඔහු සිහිපත් කළේය.
පෞරාණික කරඬුවේ කිසියම් දෝෂයක් පැවතියේ නම් සිදුකළ යුතුව තිබුණේ එය ප්‍රවේශමෙන් ප්‍රතිසංස්කරණය කර යළි තැන්පත් කිරීම බවද නෙරංජන් විජයරත්න මහතා පැවසීය.
එමෙන්ම අලුතින් කිසියම් පාර්ශ්වයක් කරඬුවක් පූජා කළේ නම්, එය දළදා මාලිගා කෞතුකාගාරයේ තැන්පත් කිරීම මිස මුල් කරඬුව ඉවත් කිරීම නොකළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
දළදා කරඬුව සම්බන්ධයෙන් මතුව ඇති මෙම අර්බුදය කිසිසේත්ම සැහැල්ලුවට නොගත යුතු බවද නෙරංජන් විජයරත්න මහතා ප්‍රකාශ කළේය.
ජාතිය සතු මෙම අමිල ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සිට මහා සංඝරත්නය ඇතුළු සමස්ත බෞද්ධ ජනතාව දක්වා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.




