
වී වගාබිම්වල අතිරේක බෝග වගා කරන ගොවීන්ට පොහොර සහනාධාර ලබා නොදෙන බවට එල්ල වන චෝදනා කිසිසේත් පිළිගත නොහැකි බව කෘෂිකර්ම, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

වත්මන් රජය ඉතිහාසයේ කිසිදු රජයක් ලබා නොදුන් ආකාරයෙන් ගොවි ජනතාවට උපරිම සහන ලබාදීමට කටයුතු කර ඇති බවද නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.
පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී මාධ්යවේදීන් නැඟූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
පොහොර සහනාධාරය රුපියල් 60,000 දක්වා ඉහළට
නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ පසුගිය රජය සමයේ අක්කර පහක් සඳහා ලබාදුන් පොහොර සහනාධාරය රුපියල් 30,000ක් පමණක් වූ නමුත් වත්මන් රජය එම මුදල රුපියල් 60,000 දක්වා දෙගුණයකින් ඉහළ දමා ඇති බවයි.
වී වගා කරන කුඹුරු ඉඩම්වල අතිරේක බෝග වගා කරන ගොවීන්ට මීට පෙර කිසිදු පොහොර සහනාධාරයක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, වත්මන් රජය පසුගිය කන්න කිහිපය පුරාම එම ගොවීන්ට අඛණ්ඩව සහනාධාර ලබාදී ඇති බවත්, ඉදිරි කන්න සඳහා පැවැත්වෙන කන්න රැස්වීම්වල තීරණ අනුව අතිරේක බෝග වගා කරන ගොවීන්ටද පොහොර සහනාධාර ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවත් නියෝජ්ය අමාත්යවරයා පැවසීය.
ආපදා වන්දි ගැනත් ප්රකාශයක්
මේ අතර, ස්වාභාවික ආපදාවලින් ගොවීන්ගේ වගාවන්ට සිදුවන හානි සඳහා ලබාදෙන වන්දි සම්බන්ධයෙන්ද නියෝජ්ය අමාත්යවරයා අදහස් දැක්වීය.
ඔහු සඳහන් කළේ පසුගිය කාලයේ ස්වාභාවික ආපදාවලින් වගාවන්ට හානි සිදුවූ අවස්ථාවල ගොවීන්ට ලැබී ඇත්තේ ඉතා සුළු වන්දි මුදලක් බවයි.
“එකම පුද්ගලයාගේ වගාවන්ට දස වතාවක් හානි සිදු වූවා නම්, ඒ වාර දහයටම වන්දි ගෙවීමට අපි පියවර ගත්තා. කිසිදු රජයක් මීට පෙර මෙලෙස කටයුතු කර නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
“ගොවි නොවන පවුලක් සොයාගැනීමත් අමාරුයි”
පොළොන්නරුවේ පැවති උද්ඝෝෂණ සඳහා ගොවීන්ට අමතරව වෙනත් වෘත්තිකයන් සහභාගී වූ බවට පළවන අදහස් සම්බන්ධයෙන්ද නාමල් කරුණාරත්න මහතා අදහස් දැක්වීය.
පොළොන්නරුව දිස්ත්රික්කයේ අතිමහත් බහුතරය ගොවි ජනතාව බැවින් එම ප්රදේශයේ ගොවි නොවන පවුලක් සොයා ගැනීම පවා දුෂ්කර බව ඔහු සඳහන් කළේය.
එවැනි ප්රකාශ හුදෙක් විහිළු සහගත ප්රකාශ පමණක් බවද නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.




