
ශ්රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්රකාශකයන්ගේ සංගමය (ACPOSL) සිය කර්තෘ භාග ගාස්තු (Royalty Fees) ක්රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කරනවා.

ඒ අනුව, ඊට අදාළ සියලුම බලපත්රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්රකාශකයන්ගේ සංගමය සඳහන් කළේ.
පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්රයේ විවිධ පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ප්රතිචාර සහ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව ACPOSL අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
මෙම තාවකාලික අත්හිටුවීම 2026 නොවැම්බර් මස පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම දක්වා බලපැවැත්වෙන අතර, එමඟින් ACPOSL සතු අයිතිවාසිකම්, නෛතික ප්රතිකර්ම හෝ නෛතික ස්ථාවරත්වයට කිසිදු අගතියක් සිදු නොවන බවයි එම සංගමය අවධාරණය කළේ.
තවද, පසුගිය දිනවල ඇති වූ තත්ත්වයන් හේතුවෙන් යම් පාර්ශ්වයකට හෝ ජනතාවට අපහසුතාවක් හෝ සිත් රිදවීමක් සිදු වූයේ නම්, ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවයි ශ්රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්රකාශකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.




