
එළඹෙන උත්සව සමය තුළ මෙරට වෙළෙඳපොළ තුළ කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීමට සහ අඛණ්ඩ භාණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාමට රජය කඩිනම් පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
වෙළෙඳපොළ තුළ භාණ්ඩ සැපයුම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් සමඟ මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, ලංකා සතොස, දිවයින පුරා පිහිටි සමුපකාර සමිති ජාලය, පිටකොටුව තොග ආනයනකරුවන්ගේ සංගම් මෙන්ම ප්රමුඛ පෙළේ දේශීය නිෂ්පාදකයින් සමඟ ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.

මෙම ඒකාබද්ධ ක්‍රියාමාර්ග ඔස්සේ උත්සව සමය මුළුල්ලේම විවෘත වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිසිදු බාධාවකින් තොරව ජනතාවට පහසුවෙන් ලබාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණයි.
උත්සව කාලසීමාවන්හිදී පවතින අධික ඉල්ලුම හේතුවෙන් වෙළෙඳපොළෙහි භාණ්ඩ මිල ගණන්වල සුළු වෙනස්වීම් හෝ උච්චාවචනයන් සිදුවිය හැකි බව පිළිගත් අමාත්‍යවරයා, එය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තත්ත්වයක් නොවන බව ද පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, පාරිභෝගික ජනතාව මත පැටවෙන මූල්‍යමය පීඩනය හැකිතාක් අවම කරමින් වෙළෙඳපොළ මිල මට්ටම් පාලනය කිරීම සඳහා ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් සමඟ රජය ඉතා සමීපව හා නිරන්තර මැදිහත්වීමකින් යුතුව කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.




