
ආරයම්පති ප්රදේශයේදී ඥාතියෙකු විසින් පෙට්රල් වත්කර ගිනි තැබීම හේතුවෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි 55 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය කාන්තාව ආරයම්පති, පැරණි කල්මුණේ පාරේ පදිංචි චින්නතම්බි කමලේස්වරී නමැත්තියක බව පොලීසිය හඳුනාගෙන ඇත.
පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලට අනුව, මෙම සිදුවීම නොවැම්බර් 3 වැනි අඟහරුවාදා පස්වරු 4.00ට පමණ සිදුව තිබේ. එම අවස්ථාවේදී අදාළ කාන්තාව සිය නිවස ඉදිරිපිට පුටුවක වාඩි වී සිට ඇති බව වාර්තා වේ.
එහිදී ඥාතියෙකු ඇයගේ පිටුපසින් පැමිණ ඇයගේ සිරුරට පෙට්රල් වත්කර ගිනි තබා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
සිද්ධිය දුටු අසල්වැසියන් වහාම ඇයගේ සහායට පැමිණ ඇති අතර, බරපතළ පිළිස්සුම් තුවාල ලබා සිටි ඇය මඩකලපුව ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
ප්රහාරයෙන් අනතුරුව සැකකරු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, පසුදින එනම් නොවැම්බර් 4 වැනි බදාදා පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මියගිය කාන්තාවගේ නෑනාගේ සැමියා බව බලධාරීන් හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මඩකලපුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මේ අතර, මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිස්සුම් තුවාල ඒකකයේ දැඩි සත්කාර යටතේ ප්රතිකාර ලබමින් සිටි කමලේස්වරී, ප්රතිකාරවලට යහපත් ප්රතිචාර නොදැක්වීම හේතුවෙන් නොවැම්බර් 5 වැනි බ්රහස්පතින්දා උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.




