
ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනක් ලබාගෙන වසර හතරකට ආසන්න කාලයක් ගතවෙමින් පවතින අතර, රට මේ වනවිට තීරණාත්මක තීන්දුවක් ගැනීමට ආසන්න වී තිබේ. මූල්‍ය ස්ථාවරත්වය වැඩිදියුණු වී තිබුණද, ණය ආපසු ගෙවීමේ වගකීම්, ගෝලීය අවිනිශ්චිතතා සහ ආර්ථික දුර්වලතා තවදුරටත් පවතින බැවින්, 2027 මාර්තු මාසයෙන් පසු තවත් IMF ගිවිසුමකට එළඹිය යුතුද යන්න රජය තීරණය කළ යුතුව ඇත.
2023 මාර්තු 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද වසර හතරක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ (Extended Fund Facility – EFF) අවසන් මාස කිහිපයට ශ්‍රී ලංකාව ළඟාවෙමින් සිටී.
ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න වටිනාකමකින් යුත් මෙම වැඩසටහන හඳුන්වා දෙනු ලැබුවේ රට මුහුණදුන් පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීමෙන් අනතුරුවය. මූල්‍ය ස්ථාවරත්වය යළි ඇති කිරීම, තිරසාර නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ විනිමය සංචිත යළි ගොඩනැගීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම එහි ප්‍රධාන අරමුණු විය.
මෙම වැඩසටහන 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතය.
මෙය ශ්‍රී ලංකාව IMF සහාය ඇතිව ක්‍රියාත්මක කළ 17 වැනි වැඩසටහන වන අතර, ආර්ථික අස්ථාවරත්වයක් ඇතිවන අවස්ථාවලදී ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබාගැනීමට මෙරටට තිබූ දීර්ඝ ඉතිහාසය එයින් පිළිබිඹු වේ.
වැඩසටහන අනුමත කර වසර හතරකට ආසන්න කාලයක් ගතව ඇති මේ මොහොතේ මතුවන ප්‍රධාන ප්රශ්නය වන්නේ, එම ගිවිසුම යටතේ හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ මඟින් ශ්‍රී ලංකාවට ස්වාධීනව ඉදිරියට යාමට ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් ගොඩනැගී තිබේද යන්නයි.
IMF වැඩසටහන මඟින් ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීමට දායකත්වයක් ලැබුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගෙන ඇති අතර, ආර්ථික සංවර්ධනයේ මීළඟ අදියරට සහාය ලබාගැනීම සඳහා නව ගිවිසුමකට එළඹීමේ හැකියාව රජය සලකා බලමින් සිටින බවද පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ මෙරට ආර්ථික ප්‍රකෘතිමත් වීම තවමත් සම්පූර්ණ වී නොමැති බවත්, IMF සහාය ඇතිව ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණවලින් ඉක්මනින් ඉවත්වීම රට නැවතත් මූල්‍ය අස්ථාවරත්වයකට ඇද දැමිය හැකි බවත්ය.
ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක IMF ණය පහසුකම අවශ්‍ය වූයේ ඇයි?
ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු වසර කිහිපයක් පුරා වර්ධනය වූ අතර, 2022 වසරේදී ඒවා දැවැන්ත අර්බුදයක් දක්වා උග්‍ර විය.
2018 වසරේ සිට පැවති දේශපාලන හා සමාජ අස්ථාවරත්වය, COVID-19 වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික බාධා, රාජ්‍ය මූල්‍ය පද්ධතියේ දුර්වලතා සහ ඉහළ යමින් පැවති විදේශ ණය ගෙවීමේ වගකීම් එක්ව රටේ මූල්‍ය තත්ත්වය දුර්වල කිරීමට හේතු විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථික කඩාවැටීමට බලපෑ එකිනෙකට සම්බන්ධ හේතු කිහිපයක් හඳුනාගෙන තිබුණි.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා, විදේශීය අංශයෙන් එල්ල වූ පීඩන, ශ්‍රී ලංකා රුපියල එහි සැබෑ වටිනාකමට වඩා ඉහළ අගයක පවත්වාගෙන යාම, විදේශ විනිමය සංචිත පහත වැටීම, යහපාලන ක්‍රමවේදවල අඩුපාඩු සහ රජයේ වියදම් පියවා ගැනීම සඳහා මහ බැංකුවේ මූල්‍යකරණය භාවිත කිරීම ඒ අතර විය.
එමෙන්ම එවකට පැවති ආර්ථික තත්ත්වය යටතේ තවදුරටත් පවත්වාගෙන යා නොහැකි මට්ටමකට රටේ ණය බර ඉහළ ගොස් තිබුණි.
පොලී අනුපාත ඉහළ යාම සහ රුපියලේ අගය වේගයෙන් පහත වැටීම බැංකු, ව්‍යාපාර සහ ගෘහස්ථ ආර්ථිකයන් මත අමතර පීඩනයක් ඇති කළේය.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීම හේතුවෙන් රජයට මෙන්ම බැංකු ක්ෂේත්රයටද ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථා තවදුරටත් සීමා විය.
2022 වසර වනවිට මෙරට ආර්ථිකය පෙර නොවූ විරූ අර්බුදයකට ඇද වැටී තිබුණි.
මුල් ඇගයීමේ සඳහන් මහ බැංකු දත්ත අනුව ආර්ථික නිෂ්පාදනය සියයට 7.3කින් හැකිළී ගිය අතර, උද්ධමනය සියයට 70කට ආසන්න මට්ටමකට ළඟා විය.
රුපියලේ අගය දැඩි ලෙස පහත වැටුණු අතර, භාවිත කළ හැකි විදේශ විනිමය සංචිත ඉතා අවදානම් සහගත පහළ මට්ටමකට පත්විය. එමෙන්ම විදේශ ණය ගෙවීමේදී රජය දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නේය.
ආර්ථික කඩාවැටීමෙන් ජනතාවට සිදුවූ බලපෑම
මෙම අර්බුදයේ ප්‍රතිවිපාක මූල්‍ය වෙළෙඳපොළ සහ රජයේ ගිණුම්වලට පමණක් සීමා නොවීය.
ඉන්ධන, ගෑස් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල හිඟයකට ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දීමට සිදුවිය.
අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා ඇතැම් අවස්ථාවල දින ගණනාවක් බලා සිටීමට සිදුවූ දිගු පෝලිම් එදිනෙදා ජීවිතයේ සුලබ දසුනක් බවට පත්විය.
ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වූ අතර, ප්‍රවාහන සේවා අඩාල විය. ජීවන වියදම අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් පවුල් දැඩි පීඩනයකට ලක්විය.
පිරිහෙමින් පැවති ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවූ දැඩි විරෝධය, එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ රජයට එරෙහිව රටපුරා විරෝධතා ව්‍යාපාරයක් ඇතිවීමට හේතු විය.
එම විරෝධතා ව්‍යාපාරය අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම දක්වා වර්ධනය විය.
අනතුරුව පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ අතර, 2023 මාර්තු මාසයේදී IMF සහාය ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ලබාගත් රජයට ඔහු නායකත්වය ලබා දුන්නේය.
මෙම ගිවිසුමේ අරමුණ වූයේ ක්ෂණික විදේශ මූල්‍ය පහසුකම් ලබාදීම පමණක් නොව, අර්බුදයට හේතු වූ ව්‍යුහාත්මක දුර්වලතා විසඳීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනකට සහාය ලබාදීමද වේ.
IMF වැඩසටහන මඟින් ඉටුකර ගැනීමට අපේක්ෂා කළ අරමුණු
මාස 48ක මෙම වැඩසටහන යටතේ ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම සහ තවත් මූල්‍ය කඩාවැටීමක් ඇතිවීමේ අවදානම අඩු කිරීම සඳහා ආර්ථික හා ආයතනික අරමුණු කිහිපයක් හඳුන්වා දී තිබුණි.
IMF සහ මහ බැංකු ලේඛන අනුව එහි ප්‍රධාන ප්‍රමුඛතා වූයේ:
සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය: රජයේ ආදායම ඉහළ නැංවීම, අයවැය හිඟය අඩු කිරීම, තිරසාර නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනාගත මූල්‍ය වගකීම් ඉටුකිරීමේ හැකියාව යළි ගොඩනැගීම.
මිල ස්ථාවරත්වය සහ මූල්‍ය ක්ෂේත්රයේ ආරක්ෂාව: අසාමාන්‍ය ලෙස ඉහළ ගිය උද්ධමනය පාලනය කරමින් බැංකු සහ මූල්‍ය පද්ධතිය තවදුරටත් පිරිහීමෙන් ආරක්ෂා කිරීම.
විදේශ විනිමය සංචිත යළි ගොඩනැගීම: අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් සැපයීම, ජාත්‍යන්තර වෙළෙඳාම පවත්වාගෙන යාම සහ බාහිර ආර්ථික කම්පනවලට මුහුණදීම සඳහා රටේ හැකියාව ශක්තිමත් කිරීම.
අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම් ආරක්ෂා කිරීම: බදු, මිල සංශෝධන සහ අනෙකුත් ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් බලපෑමට ලක්වන අඩු ආදායම්ලාභී පවුල්වලට සහාය ලබාදීම සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහන් පුළුල් කිරීම.
යහපාලනය ශක්තිමත් කිරීම සහ දූෂණය අවම කිරීම: විනිවිදභාවය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම: රාජ්‍ය ව්‍යවසායන්හි කළමනාකරණය වැඩිදියුණු කිරීම, දිගුකාලීන ආර්ථික දුර්වලතා විසඳීම සහ තිරසාර ආර්ථික වර්ධනයකට අවශ්‍ය පසුබිම සකස් කිරීම.
හදිසි මූල්‍ය සහාය ලබාදීමෙන් පමණක් ශ්‍රී ලංකාවේ මූලික ආර්ථික ගැටලු විසඳිය නොහැකි බවට IMF විසින් සිදුකළ ඇගයීම මෙම අරමුණුවලින් පිළිබිඹු විය.
දිගුකාලීන ආර්ථික ප්‍රකෘතිමත් වීමකට සහාය ලබාදීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති, ණය කළමනාකරණය, රාජ්‍ය ආයතන සහ සමස්ත ආයෝජන පරිසරය තුළ වෙනස්කම් සිදුකිරීම අවශ්‍ය බව සැලකුණි.
ජාත්‍යන්තර විශ්වාසය යළි ගොඩනැගීම
IMF විසින් සෘජුව ලබාදුන් මූල්‍ය පහසුකම්වලට අමතරව මෙම වැඩසටහනෙන් තවත් ප්රතිලාභ ලැබුණි.
ගිවිසුම අනුමත වීම ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ විශ්වාසය යළි ගොඩනැගීමට දායක වූ අතර, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් අමතර සහාය ලබාගැනීමේ අවස්ථාද නිර්මාණය විය.
මෙම මූල්‍ය ගිවිසුම යටතේ රජයට අදියර කිහිපයකින් මුදල් ලබාදුන් අතර, සෑම මුදල් නිකුත් කිරීමක්ම ආර්ථික කාර්යසාධනය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ කාලානුරූපී සමාලෝචන සමඟ සම්බන්ධ කර තිබුණි.
මෙම ක්‍රියාවලියේ අරමුණ වූයේ අමතර මුදල් නිකුත් කිරීම රාජ්‍ය මූල්‍ය හා ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීමේ ප්‍රගතිය මත පදනම් වන බව සහතික කිරීමයි.
ඒ අනුව මෙම ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් ලබාගැනීමේ මාර්ගයක් මෙන්ම රජයේ ප්‍රතිසංස්කරණ පොරොන්දු ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමේ රාමුවක් ලෙසද ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකාවට IMF ණය මුදල අදියරෙන් අදියර ලැබුණු ආකාරය
ගිවිසුම අනුමත කළ අවස්ථාවේදී IMF විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක සම්පූර්ණ මුදල එකවර නිකුත් නොකළේය.
ඒ වෙනුවට මුල් වාරිකයක් සහ වැඩසටහන් සමාලෝචන සාර්ථකව අවසන් කිරීම මත පදනම් වූ පසුකාලීන වාරික කිහිපයක් ලෙස මූල්‍ය පහසුකම් ලබාදෙන ලදී.
සෑම නියමිත සමාලෝචනයකදීම රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇතුළු එකඟ වූ ආර්ථික ඉලක්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පරීක්ෂා කෙරිණි.
මෙම ගිවිසුම යටතේ නිකුත් කළ හෝ නිකුත් කිරීමට නියමිත වාරික පහත පරිදි වේ.
පළමු වාරිකය – 2023 මාර්තු: IMF විධායක මණ්ඩලය විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අනුමත කිරීමෙන් පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් පමණ ලබාදෙන ලදී.
දෙවැනි වාරිකය – 2023 දෙසැම්බර්: පළමු සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක් පමණ නිකුත් කරන ලදී.
තෙවැනි වාරිකය – 2024 ජූනි: දෙවැනි සමාලෝචනයෙන් පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 336ත් 337ත් අතර මුදලක් ලබාගැනීමට හැකි විය.
සිව්වැනි වාරිකය – 2025 පෙබරවාරි: තෙවැනි සමාලෝචනය අවසන් කිරීමෙන් පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 334ක් පමණ නිකුත් කරන ලදී.
පස්වැනි වාරිකය – 2025 ජූලි: සිව්වැනි සමාලෝචනයෙන් අනතුරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් පමණ ලබාදෙන ලදී.
හයවැනි සහ හත්වැනි වාරික – 2026 මැයි: IMF විසින් පස්වැනි සහ හයවැනි සමාලෝචන ඒකාබද්ධව අවසන් කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක් පමණ නිකුත් කරන ලදී. මෙම සමාලෝචන දෙක වෙන වෙනම විධායක මණ්ඩල තීරණ මඟින් නොව, එකට සලකා බලන ලදී.
අටවැනි වාරිකය – හත්වැනි සමාලෝචනයේ අනුමැතිය අපේක්ෂාවෙන්: IMF විධායක මණ්ඩලය හත්වැනි සමාලෝචනය අනුමත කිරීමෙන් පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක් පමණ ලබාගැනීමට අපේක්ෂා කෙරේ.
අවසන් නියමිත වාරිකය – 2027 මාර්තු: අවශ්‍ය කොන්දේසි සපුරාලීම සහ IMF විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව, වැඩසටහනේ අවසන් නියමිත සමාලෝචනය යටතේ තවත් වාරිකයක් ලබාදීමට සැලසුම් කර තිබේ.
IMF මූල්‍ය පහසුකම් විශේෂ ගැනුම් හිමිකම් (Special Drawing Rights – SDR) ඒකකවලින් ගණනය කරන බැවින්, එහි විනිමය වටිනාකම කාලය අනුව වෙනස් වීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර්වලට පරිවර්තනය කළ අගයන්හි සුළු වෙනස්කම් ඇතිවිය හැකිය.
ශ්‍රී ලංකාවට මේ වනවිට ලැබී ඇති මුදල කොපමණද?
2026 මැයි 27 වැනිදා පස්වැනි සහ හයවැනි ඒකාබද්ධ සමාලෝචන අවසන් කිරීමෙන් පසු මෙම ගිවිසුම යටතේ නිකුත් කළ මුළු මුදල SDR බිලියන 1.778ක් දක්වා ඉහළ ගිය අතර, එය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4කට ආසන්න විය.
අනතුරුව 2026 ඔක්තෝබර් 4 වැනිදා IMF සහ ශ්‍රී ලංකාව අතර හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹිණි.
එම සමාලෝචනය සාර්ථකව අවසන් කළහොත් තවත් SDR මිලියන 254ක්, එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක් පමණ ශ්‍රී ලංකාවට ලබාගත හැකි වනු ඇත.
එවිට මෙම ගිවිසුම යටතේ නිකුත් කළ මුළු මූල්‍ය පහසුකම් ප්‍රමාණය SDR බිලියන 2.032ක් දක්වා ඉහළ යන අතර, IMF නිවේදනයේ භාවිත කළ විනිමය අනුපාතය අනුව එය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7කට ආසන්න වේ.
කෙසේ වෙතත්, මෙම අමතර මුදල නිකුත් කිරීම IMF විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වේ.
හත්වැනි සමාලෝචනයට අදාළ කොන්දේසි අතර, වැඩසටහන යටතේ එකඟ වූ රාජ්‍ය මූල්‍ය ඉලක්කවලට අනුකූල 2027 අයවැයක් ඉදිරිපත් කිරීමද ඇතුළත් වේ.
ජනාධිපති දිසානායක මහතා නොවැම්බර් 12 වැනිදා එම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඉදිරි වසර සඳහා රජයේ ආදායම්, වියදම් සහ ආයෝජන යෝජනා ඉදිරිපත් කළේය.
අවසන් නියමිත සමාලෝචනය සහ ඒ යටතේ නිකුත් කිරීමට නියමිත වාරිකය, හත්වැනි සමාලෝචනයට අදාළ මූල්‍ය පහසුකම්වලින් වෙනස් වේ.
ශ්‍රී ලංකාව බොහෝ දුරට ආර්ථික ස්ථාවරත්වය යළි ලබාගෙන ඇති බව ජනාධිපති කියයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට IMF වැඩසටහනෙන් ලැබුණු දායකත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගෙන තිබේ.
කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති 2026 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව අමතමින් ඔහු රට ලබා ඇති ප්‍රගතිය සහ IMF සමඟ තවත් ගිවිසුමකට එළඹීමේ හැකියාව පිළිබඳව අදහස් දැක්වීය.
සාකච්ඡාවක් අතරතුර වත්මන් වැඩසටහන අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව 18 වැනි IMF වැඩසටහනකට යා යුතුද යන්න ජනාධිපතිවරයාගෙන් විමසන ලදී.
ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීමේ මුල් අරමුණ සම්බන්ධයෙන් රට සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
“IMF සමඟ ඇතිකරගත් පළමු විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ වසර හතරක ඉලක්කය වූයේ අපේ ස්ථාවරත්වය ඇතිකර ගැනීමයි. මම හිතනවා අපි සෑම අංශයකින්ම සැලකිය යුතු මට්ටමකට ස්ථාවරත්වය ලබාගෙන තිබෙනවා කියලා. දැන් අපේ මීළඟ සැලැස්ම වන්නේ මේ ස්ථාවරත්වය ආරක්ෂා කරගනිමින් ආර්ථික වර්ධනය ලබාගන්නේ කොහොමද කියන එකයි. ඒ නිසා වර්ධනය සඳහා නව ගිවිසුමකට යා හැකි නම් අපි ඒ සඳහා සූදානම් කියලා මම හිතනවා.”
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ රජය තවදුරටත් IMF සහාය ලබාගැනීමේ හැකියාව ප්‍රතික්ෂේප නොකරන නමුත්, ඊළඟ ගිවිසුම ආර්ථිකයේ වෙනස් වන ප්‍රමුඛතාවලට ගැළපෙන ආකාරයෙන් සකස් විය යුතු බව අපේක්ෂා කරන බවයි.
ප්‍රධාන වශයෙන් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට අනාගත වැඩසටහනක් ආයෝජන, ආර්ථික වර්ධනය සහ ආර්ථික කම්පනවලින් ආරක්ෂාව ලබාගැනීම කේන්ද්‍ර කරගනිමින් සකස් කළ හැකිය.
18 වැනි IMF වැඩසටහනකට යාමේ හැකියාව රජය ප්‍රතික්ෂේප කර නැහැ
අනාගත IMF ගිවිසුමක ස්වභාවය සහ අරමුණ සම්බන්ධයෙන් ආර්ථික නිලධාරීන් අතර දැනටමත් සාකච්ඡා පැවැත්වෙන බව දිසානායක මහතා පැහැදිලි කළේය.
තවදුරටත් වැඩසටහන් සහාය නොමැතිව ඉදිරියට යාමට ප්‍රමාණවත් තරම් රටේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු වී තිබේද යන්න රජය සලකා බලමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
එසේම අනපේක්ෂිත ගෝලීය සිදුවීම්වල බලපෑමට ශ්‍රී ලංකාව තවමත් නිරාවරණය වී ඇති බවද ඔහු පිළිගත්තේය.
“මේ වනවිට මුදල් අමාත්‍යාංශයේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු අපේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් ඇති කණ්ඩායමක් සාකච්ඡා කරමින් සිටිනවා. අපි යා යුත්තේ කුමන ආකාරයේ වැඩසටහනකටද කියන තීරණය ගන්නේ ඒ සාකච්ඡා මත පදනම්වයි.”
බාහිර ආර්ථික කම්පනවලට මුහුණදීමට රටට ඇති හැකියාව මෙම තීරණයේදී සැලකිල්ලට ගත යුතු බව ඔහු අවධාරණය කළේය.
“අපි එය සම්පූර්ණයෙන්ම අත්හරින තැනකත් නැහැ. අනිවාර්යයෙන්ම යා යුතුයි කියන තැනකත් නැහැ. අපි තවමත් විවෘත ස්ථාවරයක සිටිනවා.”
ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරයෙන් පිළිබිඹු වන්නේ තවත් ගිවිසුමක් අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස නොසලකා, එවැනි ගිවිසුමකට එළඹීමේ හැකියාව සලකා බැලීමට රජය සූදානම් බවයි.
අනාගත ගිවිසුම පිළිබඳ සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත් කරයි
නොවැම්බර් 12 වැනිදා 2027 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති දිසානායක මහතා තහවුරු කළේ, 2027 මාර්තු මාසයෙන් පසු තවත් IMF වැඩසටහනකට එළඹීම සුදුසුද යන්න සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කර ඇති බවයි.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම කමිටුවට මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආර්ථික විශේෂඥයෝ ඇතුළත් වෙති.
නව වැඩසටහනක් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වේද යන්න සහ එසේ නම් එම ගිවිසුම කුමන ආකාරයකින් සකස් විය යුතුද යන්න ඇගයීම එහි වගකීම වේ.
මෙම සමාලෝචනයේදී ආර්ථික ස්ථාවරත්වය, විදේශ විනිමය සංචිත, අනාගත ආර්ථික වර්ධන අවශ්‍යතා සහ ජාත්‍යන්තර සිදුවීම් හා ස්වාභාවික ආපදා හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සැලකිල්ලට ගැනීමට නියමිතය.
වත්මන් ගිවිසුම අවසන් වීමෙන් පසු IMF සමඟ පවත්වන සබඳතාව පිළිබඳ රජය අවසානයේ ගන්නා තීරණයට මෙම කමිටුවේ නිගමන පදනමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බාහිර ආර්ථික කම්පන තවමත් ප්‍රධාන තර්ජනයක්
2022 වසරෙන් පසු ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබුණද, ආර්ථික ප්‍රකෘතිමත් වීම අඩාල කළ හැකි බාහිර අවදානම් කිහිපයක් තවදුරටත් පවතී.
ගෝලීය අවිනිශ්චිතතාව, භූදේශපාලනික ආතතීන් සහ දේශගුණික විපත් මෙරට ආර්ථිකය මුහුණදෙන අභියෝග අතරට IMF විසින් හඳුනාගෙන තිබේ.
මැදපෙරදිග ගැටුම් සහ ඉහළ යන ඉන්ධන මිල
මැදපෙරදිග කලාපයේ අඛණ්ඩව පවතින අස්ථාවරත්වය ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළට අවදානම් ඇති කරයි.
බොරතෙල් මිල ඉහළ යාම ආනයනික ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වැයවන මුදල වැඩි කරන අතර, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අවශ්‍යතා සහ දේශීය මිල ගණන් මත අමතර පීඩනයක් ඇති කරයි.
ඉන්ධන වියදම් ඉහළ යාම ප්‍රවාහන, නිෂ්පාදන සහ බෙදාහැරීමේ පිරිවැය වැඩිවීමටද හේතු විය හැකිය.
එහි බලපෑම බලශක්ති ආනයනවලට පමණක් සීමා නොවිය හැකිය.
කලාපීය අස්ථාවරත්වය ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයට, ගුවන් සේවා මෙහෙයුම්වලට සහ විදේශ රැකියාවලට බලපෑම් කළ හැකි අතර, එමඟින් විදේශ විනිමය ආදායම සහ විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් කෙරෙහිද ප්‍රතිවිපාක ඇතිවිය හැකිය.
ආනයනික ඉන්ධන සහ විදේශීය ආදායම් මත තවමත් දැඩි ලෙස රඳා පවතින ආර්ථිකයකට, දිගුකාලීන මිල ඉහළ යාම මූල්‍ය ස්ථාවරත්වය සැලකිය යුතු ලෙස දුර්වල කළ හැකිය.
දේශගුණික විපර්යාස සහ ස්වාභාවික ආපදා
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අවදානම්ද ඉහළ යමින් පවතී.
දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදුකරන නැවත ගොඩනැගීමේ කටයුතු හේතුවෙන් රජයේ මූල්‍ය සම්පත්, යටිතල පහසුකම් සඳහා වන වියදම් සහ රාජ්‍ය පරිපාලනය මත අමතර අවශ්‍යතා ඇති වී තිබේ.
අනාගතයේදී ඇතිවිය හැකි දේශගුණික විපත් මාර්ග, නිවාස, කෘෂිකාර්මික නිෂ්පාදනය සහ විදුලිබල යටිතල පහසුකම්වලට හානි කළ හැකිය.
එල් නිනෝ (El Niño) තත්ත්වය ආශ්රිත කාලගුණික බාධා ඇතිවීමේ හැකියාව හේතුවෙන් කෘෂිකර්මාන්තය, ජල සැපයුම සහ විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන්ද තවදුරටත් අවිනිශ්චිතතාවක් පවතී.
මෙම අවදානම් මඟින් රාජ්‍ය මූල්‍ය සංචිත පවත්වාගෙන යාම සහ ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පැහැදිලි වේ.
ජාත්‍යන්තර වෙළෙඳාමේ අවිනිශ්චිතතාව
ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්ත්වයන්හි වෙනස්කම් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඇති ඉල්ලුමට බලපෑම් කළ හැකිය.
අපනයන ආදායම අඩුවීම ගෙවුම් ශේෂය සහ විදේශ විනිමය ලබාගැනීමේ හැකියාව මත පීඩනයක් ඇති කරයි.
ඒ අනුව දේශීය රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා තිබුණද, ප්‍රධාන වෙළෙඳ හවුල්කාර රටවල ආර්ථික වෙනස්කම් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමට බලපෑම් කළ හැකිය.
IMF වැඩසටහනෙන් පසුවත් රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යාම
ජනතාවගේ සහන ඉල්ලීම් සහ රාජ්‍ය වියදම් වැඩි කිරීමේ අවශ්‍යතා සපුරාලන අතරතුර රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කරගැනීම රජයට පැවරෙන දුෂ්කරම වගකීම්වලින් එකක් වනු ඇත.
2027 අයවැය විශේෂයෙන් වැදගත් වන්නේ එහි ආදායම් සහ වියදම් යෝජනා IMF හත්වැනි සමාලෝචනයට අදාළ කොන්දේසිවල කොටසක් වන බැවිනි.
රජයේ මූල්‍ය සැලසුම් වැඩසටහන යටතේ එකඟ වූ ඉලක්කවලට අනුකූල බව රජය පෙන්වා දිය යුතුය.
රාජ්‍ය ආදායම් රැස් කිරීම සහ බදු පරිපාලනය
රාජ්‍ය සේවා සඳහා මුදල් සැපයීම, ණය ගෙවීමේ වගකීම් ඉටු කිරීම සහ ණය ගැනීම මත රඳා පැවතීම අඩු කිරීම සඳහා ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.
බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු නීතිවලට අනුකූලව කටයුතු කරන පිරිස පුළුල් කිරීම සහ තිරසාර රාජ්‍ය ආදායම් පදනමක් පවත්වාගෙන යාමේ වැදගත්කම IMF අවධාරණය කර තිබේ.
බදු ආදායමේ කිසියම් අඩුවීමක් සිදුවන්නේ නම්, රජයේ වියදම් වගකීම් සහ එකඟ වූ රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරාලීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් එය ඇගයීමට ලක් කළ යුතුය.
ඉන්ධන සහ විදුලි මිල නියම කිරීම
තවත් අභියෝගයක් වන්නේ විදුලිය සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා සැබෑ පිරිවැය පිළිබිඹු වන මිල නියම කිරීමේ ක්‍රමවේද අඛණ්ඩව පවත්වාගෙන යාමයි.
රාජ්‍ය ව්‍යවසායන් තුළ මූල්‍ය පාඩු එකතු වීම වැළැක්වීම සඳහා මෙම ක්‍රමවේද වැදගත් ආරක්ෂණ පියවරක් බව IMF හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත්, විශේෂයෙන් ගෝලීය බලශක්ති මිල ඉහළ යන අවස්ථාවලදී මිල සංශෝධන හේතුවෙන් පවුල් සහ ව්‍යාපාර මත අමතර බරක් පැටවිය හැකිය.
එබැවින් අවදානමට ලක්විය හැකි පාරිභෝගිකයන්ට ඉලක්කගත ආරක්ෂාවක් ලබාදෙන අතරතුර බලශක්ති සැපයුම්කරුවන්ගේ මූල්‍ය තිරසාරභාවය පවත්වාගෙන යාම රජයේ අභියෝගය වනු ඇත.
ප්‍රාග්ධන වියදම් කාර්යක්ෂමව භාවිත කිරීම
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මීළඟ අදියරේදී රාජ්‍ය ආයෝජනවලට වැඩි කාර්යභාරයක් පැවරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2027 අයවැය තුළ යටිතල පහසුකම්, බලශක්තිය, ප්‍රවාහනය, අධ්‍යාපනය සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා සැලකිය යුතු මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.
එම මුදල් කාර්යක්ෂමව භාවිත කරන්නේද යන්න මත ආර්ථික ප්රතිලාභ තීරණය වනු ඇත.
ප්‍රමාදයන්, දුර්වල ප්‍රසම්පාදන ක්‍රමවේද හෝ නිසි සැලසුමකින් තොර ව්‍යාපෘති හේතුවෙන් ආර්ථික වර්ධනයට ලැබීමට අපේක්ෂිත දායකත්වය අඩුවිය හැකිය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය ආපසු ගෙවීමේ වගකීම්
IMF සහාය ඇතිව සිදුවන ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී තිබේ.
මෙම වැඩසටහනේ අරමුණ වූයේ ක්ෂණික ණය ගෙවීමේ පීඩනය අඩු කිරීම සහ වඩාත් තිරසාර ණය ව්‍යුහයක් ඇති කිරීමයි.
ණයහිමියන් සමඟ ඇතිකරගත් ගිවිසුම් සහ ප්‍රධාන ස්වෛරී ණය කාණ්ඩ ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ප්‍රගතියක් ලබාගෙන තිබේ.
එසේ වුවද, ණය සම්බන්ධ අවදානම් තවමත් ඉහළ මට්ටමක පවතින බව IMF දිගින් දිගටම පෙන්වා දී තිබේ.
ඉතිරි ණයහිමි ගිවිසුම්
රජය විසින් තවමත් අවසන් කර නොමැති මූල්‍ය සහතික කිරීම් සහ ඉතිරි ද්විපාර්ශ්වික හෝ වාණිජ ණය ගිවිසුම් සම්පූර්ණ කළ යුතුය.
රටේ අනාගත ණය ගෙවීමේ වගකීම් පැහැදිලිව තීරණය කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන එකඟ වූ ණය තිරසාරභාවය පිළිබඳ අරමුණුවලට අනුකූලව පවත්වාගෙන යාම සඳහා එවැනි ගිවිසුම් වැදගත් වේ.
ඉහළ යන ණය ගෙවීම් සඳහා සූදානම් වීම
2028 වසරේ සිට ප්‍රතිව්‍යුහගත කළ ණය ආපසු ගෙවීම් යළි ආරම්භ වීම සහ ඒවායේ ප්‍රමාණය ඉහළ යාම තවත් ප්‍රධාන අභියෝගයකි.
අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම්වලට බාධාවක් නොවන ආකාරයෙන් එම වගකීම් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් විදේශ විනිමය ආදායමක්, සංචිත සහ රාජ්‍ය ආදායමක් අවශ්‍ය වනු ඇත.
ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන්නේ නම්, ජාත්‍යන්තර ණයහිමියන්ගේ විශ්වාසය පවත්වාගෙන යාමද වැදගත් වේ.
ඒ අනුව අභියෝගය ක්ෂණික ණය බර අඩු කිරීමට පමණක් සීමා නොවේ.
දිගුකාලීනව ණය ගෙවීමේ වගකීම් ඉටුකළ හැකි ආර්ථිකයක් ගොඩනැගීමද ඊට ඇතුළත් වේ.
යහපාලන සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, දූෂණ විරෝධී නීති සහ රාජ්‍ය ආයතනවල පාලනය සම්බන්ධ ප්‍රතිසංස්කරණවලටද IMF වැඩසටහන බලපෑම් කර තිබේ.
ප්‍රතිසංස්කරණ කාලය තුළ ශ්‍රී ලංකාව දූෂණ විරෝධී පනත හඳුන්වා දුන් අතර, රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ නීතිමය රාමුවේ ඇතැම් අංශද ශක්තිමත් කළේය.
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම, විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ ආයතනික වගවීම ශක්තිමත් කිරීම වැඩසටහනේ වැදගත් අංග ලෙස හඳුනාගෙන තිබේ.
දිගුකාලීනව වැදගත් වන්නේ මෙම ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන්නේද යන්නයි.
නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන ආයතන ස්වාධීනව සහ අඛණ්ඩව කටයුතු නොකරන්නේ නම්, නීති සම්පාදනය කිරීමෙන් පමණක් දූෂණය හෝ මූල්‍ය අක්‍රමිකතා වැළැක්විය නොහැකිය.
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් තවදුරටත් රාජ්‍ය මූල්‍ය අවදානමක් ඇති කරන තවත් සාධකයකි.
රජය මූල්‍ය අධීක්ෂණය වැඩිදියුණු කිරීම, යහපාලනය ශක්තිමත් කිරීම සහ වාණිජමය වශයෙන් තිරසාර නොවන ආයතන කළමනාකරණය හෝ ප්‍රතිව්‍යුහගත කළ යුතු ආකාරය තීරණය කිරීම අවශ්‍ය වේ.
දිගින් දිගටම සිදුවන මෙහෙයුම් පාඩු විසඳීමට අපොහොසත් වුවහොත් රාජ්‍ය මූල්‍ය සම්පත් මත නැවතත් අමතර පීඩනයක් ඇතිවිය හැකි අතර, රාජ්‍ය මූල්‍ය ඒකාග්රකරණය මඟින් ලබාගත් ප්‍රගතියද අඩාල විය හැකිය.
උද්ධමනය පාලනය යටතේ පවත්වාගෙන යාම
මිල ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ වගකීමද මහ බැංකුවට පැවරී තිබේ.
මුදල් ප්‍රතිපත්ති රාමුව සියයට 5ක උද්ධමන ඉලක්කයක් පදනම් කරගෙන සකස් කර ඇත.
කෙසේ වෙතත්, බලශක්ති සහ ආහාර මිලෙහි වෙනස්වීම්, විනිමය අනුපාතවල උච්චාවචනයන් සහ බාහිර ආර්ථික කම්පන හේතුවෙන් උද්ධමනය එම ඉලක්කයට ආසන්නව පවත්වාගෙන යාම දුෂ්කර විය හැකිය.
අභියෝගය වන්නේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් අනවශ්‍ය ලෙස සීමා නොකරමින් මිල ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමයි.
IMF වැඩසටහනෙන් ඉක්මනින් ඉවත් නොවන්නැයි විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයෙකුගෙන් අනතුරු ඇඟවීමක්
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තවත් IMF වැඩසටහනකට එළඹීම පිළිබඳව සලකා බැලිය යුතු බවයි.
BBC සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ඔහු අනතුරු අඟවා ඇත්තේ, රටේ ආර්ථික දර්ශක වැඩිදියුණු වී තිබීම 2022 ආර්ථික අර්බුදයට හේතු වූ සියලු දුර්වලතා විසඳී ඇති බවට සාක්ෂියක් ලෙස නොසැලකිය යුතු බවයි.
ප්‍රතිසංස්කරණ වැඩසටහන කල්තියා අවසන් කිරීමේ අවදානම පැහැදිලි කිරීම සඳහා ඔහු වෛද්‍ය ප්‍රතිකාරයකට අදාළ උදාහරණයක් භාවිත කළේය.
“රෝගියා දැන් ටිකක් සනීපයි කියලා ටිකට් කපලා ගෙදර යන එක හොඳ නැහැ. මොකද රෝගයට හේතු වූ මූලික කාරණය තවමත් තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම සුව වෙලා නැහැ. සම්පූර්ණ සුවයක් නොලබා ටිකට් කපලා ගියොත් කෙටි කාලයක් තුළ නැවත රෝගය මතුවෙලා සුව කළ නොහැකි තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.”
අඛණ්ඩ IMF සහාය මඟින් අනාගත ගෝලීය අර්බුදවලට මුහුණදීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කළ හැකි බව දුනුසිංහ මහතා පෙන්වා දී තිබේ.
එල් නිනෝ කාලගුණික තත්ත්වයන් සහ මැදපෙරදිග අස්ථාවරත්වය සම්බන්ධ අවදානම් පිළිබඳවද ඔහු විශේෂයෙන් සඳහන් කළේය.
දූෂණ විරෝධී නීති සහ වත්කම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතා ඇතුළුව වැඩසටහන යටතේ හඳුන්වාදුන් ආයතනික ප්‍රතිසංස්කරණ පිළිබඳවද ආර්ථික විද්‍යාඥයා අවධානය යොමු කළේය.
“දූෂණ විරෝධී පනත, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම වැනි හොඳ දේවල් බොහොමයක් අපට ලැබුණේ IMF සමඟ ඇතිකරගත් ගිවිසුම නිසා. ඒ නිසා රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යාම ඉතාමත් වැදගත්.”
තවත් IMF වැඩසටහනක් මඟින් ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ජාත්‍යන්තර විශ්වාසය ශක්තිමත් කිරීමට හැකි වන බවත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට IMF අධීක්ෂණයෙන් තොරව ඉදිරියට යා හැකි බවත් ඔහුගේ අදහස විය.
“මම කියන්නේ තවත් වැඩසටහනකට ගිහිල්ලා ආර්ථිකය ස්ථාවර කරගෙන ඉන් ඉවත් වෙන එක හොඳයි කියලා. එතකොට තමයි ජාත්‍යන්තර ප්‍රජාවට අපි ගැන විශ්වාසයක් ඇති වෙන්නේ.”
වත්මන් IMF ගිවිසුම රටේ ආර්ථිකයට හානි කර ඇති බවට ඉදිරිපත් වන අදහසද දුනුසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය.
“2023 වසරේදී මේ විස්තීර්ණ ණය පහසුකම ලබාගත්තට පස්සේ රටේ ආර්ථිකය නැවත ගොඩනැගුණු ආකාරය අපි හැමෝම දැක්කා. ඒ නිසා ඒ වැඩසටහනෙන් රටට හානියක් වෙලා නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
2027 මාර්තු මාසයෙන් පසු කුමක් සිදුවේද?
2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී තිබුණද, එම කඩාවැටීමට හේතු වූ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම අතුරුදන් වී නොමැත.
විදේශ විනිමය සංචිත යළි ඉහළ ගොස් ඇති අතර, මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වී තිබේ. එසේම IMF සහාය ඇති වැඩසටහන යටතේ වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක්ද හඳුන්වා දී ඇත.
කෙසේ වෙතත්, බාහිර ආර්ථික කම්පන, ණය ආපසු ගෙවීමේ වගකීම්, රාජ්‍ය ව්‍යවසායන්හි දුර්වලතා සහ අපනයන ආදායම මෙන්ම අඛණ්ඩ ආයෝජන වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හමුවේ රට තවදුරටත් අවදානම්වලට නිරාවරණය වී සිටී.
මේ වනවිට රජය හමුවේ ප්‍රධාන විකල්ප දෙකක් පවතී.
එක් විකල්පයක් වන්නේ රාජ්‍ය මූල්‍ය විනය සහ අනපේක්ෂිත ආර්ථික බාධාවලින් ආරක්ෂාව පවත්වාගෙන යන අතරතුර ආර්ථික වර්ධනයට සහාය ලබාදීම සඳහා නව IMF ගිවිසුමකට එළඹීමයි.
අනෙක් විකල්පය වන්නේ වත්මන් ගිවිසුම අවසන් වීමට ඉඩදී නව IMF මූල්‍ය වැඩසටහනකට නොඑළඹී ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමයි.
මෙම විකල්ප දෙකෙන් කුමක් තෝරාගත්තද, නිසි ආර්ථික කළමනාකරණයක් පවත්වාගෙන යාමේ වගකීම ඉන් ඉවත් නොවේ.
අවසාන තීරණය රඳා පවතින්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ශක්තිය, අනාගත ණය ගෙවීමේ හැකියාව සහ අඛණ්ඩ IMF වැඩසටහන් අධීක්ෂණයකින් තොරව ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යාමට රජයට ඇති විශ්වාසය මතය.
2027 අයවැය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, IMF වැඩසටහනේ ඉතිරි සමාලෝචනද ළඟාවෙමින් පවතී. එබැවින් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම නව වර්ධන අදියරකට පිවිසෙන්නේද, නැතහොත් තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය සහාය අවශ්‍ය වන්නේද යන්න තීරණය වනු ඇත.
සාර්ථකත්වය මැන බැලීමේ වැදගත්ම සාධකය වන්නේ ශ්‍රී ලංකාව සිය 17 වැනි IMF වැඩසටහන අවසන් කරන්නේද යන්න පමණක් නොවේ.
2023 වසරේ සිට හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ මඟින් තවත් ආර්ථික කඩාවැටීමක් ඇතිවීමේ අවදානම අඩු කර තිබේද සහ සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාවට දරාගත හැකි, තිරසාර ආර්ථික ප්‍රකෘතිමත් වීමකට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබේද යන්නයි.




