
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවෙන් රුපියල් බිලියන 1.5කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් හමුවී ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.
අදාළ ධීවර යාත්‍රාව අද (13) ගාල්ල ධීවර වරායට රැගෙන ඒමෙන් අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
නාවික හමුදාව පසුගිය 11 වැනිදා දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය අඩංගු උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ‘යසිරු පුතා’ නමැති ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන තිබිණි.
එම අවස්ථාවේ යාත්‍රාවේ සිටි ධීවරයින් පස්දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, යාත්‍රාව සහ එහි සිටි පිරිස අද උදෑසන ගාල්ල ධීවර වරායට රැගෙන එනු ලැබීය.

යාත්‍රාව තුළ තිබූ සැකකටයුතු ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී ඒවා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කර තිබේ.
මූලික පරීක්ෂණවලදී හෙරොයින් කිලෝග්‍රෑම් 60කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50කට වැඩි ප්‍රමාණයක් යාත්‍රාවේ තිබී හඳුනාගෙන ඇත.
ඒ අනුව සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත බර කිලෝග්‍රෑම් 110 ඉක්මවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ මත්ද්‍රව්‍යවල වීථි වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 1.5 ඉක්මවන බවට දැනට ඇස්තමේන්තු කර ඇති නමුත්, ඉදිරි විමර්ශනවල ප්‍රතිඵල අනුව එම අගය වෙනස් විය හැකි බව ද ඔහු පැහැදිලි කළේය.
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මෙසේ පැවසීය.
“නාවික හමුදාව විසින් අත්අඩංගුවට අරන් තියෙන්නේ මිරිස්ස ධීවර වරායෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් පිරිසක්. ඒකේ සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත්තා ඒ යාත්‍රාවත් සමගම. එහි දැනට තියෙන තොරතුරු අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සනාථ කරගෙන තියෙනවා සිදුකර පරීක්ෂණ මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 60කට කිට්ටුව ඇති කියලා. ඒ වගේම අයිස් මත්ද්‍රව්‍යත් කිලෝ 50කට වැඩියි. සම්පූර්ණයෙන් ගත්තොත් කිලෝග්‍රෑම් 110කට වැඩි විෂ මත්ද්‍රව්‍ය තියෙනවා. මේකේ මිල ගත්තොත් වීථිවල මිල අනුව ගත්තාම රුපියල් බිලියන එකහමාරකට වඩා වැඩි ප්‍රමාණයක් වගේ දැනට නිශ්චය කරන්න පුළුවන්. නමුත් මේක දැනට සිදුකරන පරීක්ෂණ අනුව වෙනස් වෙන්න පුළුවන්.”
සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ නිශ්චිත ප්‍රමාණය සහ වටිනාකම තහවුරු කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.




