
තිරසාර සාගර ආර්ථිකයක් (එනම් සාගර හා වෙරළබඩ සම්පත් පරිසරයට හානි නොවන පරිදි භාවිතා කරමින් රටේ ආර්ථිකය දියුණු කර ගැනීමේ ක්‍රමවේදය – Blue Economy) ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය ධීවර කර්මාන්තය, ජලජීවී වගාව, වරාය, සංචාරක සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රවල නව අවස්ථා ගවේෂණය කරමින් සිටී. මෑතකදී ක්‍රියාත්මක වූ ඔස්ට්‍රේලියානු ශිෂ්‍යත්ව වැඩසටහනක් මඟින්, සාගර පරිසර පද්ධතිවලට සහ වෙරළබඩ ජනතාවගේ ජීවනෝපායන්ට හානි නොකර කලාපයට සාගර ආශ්රිත කර්මාන්ත පුළුල් කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව වැදගත් පාඩම් රැසක් කියා දෙයි.
බංග්ලාදේශ බොක්ක ආර්ථික හා පාරිසරික සංවර්ධනය අතින් වැදගත් යුගයකට පිවිසෙමින් තිබේ. විශේෂයෙන්ම රැකියා උත්පාදනය කිරීමට, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ආර්ථික ශක්තිය තහවුරු කර ගැනීමට එම රටවලට පීඩන එල්ල වී ඇති පසුබිමක, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සාගර ආශ්රිත කර්මාන්ත මඟින් ලැබෙන අවස්ථා වැඩි වැඩියෙන් හඳුනා ගනිමින් සිටී.
එහෙත් මූලික අභියෝගය වන්නේ සාගරයෙන් වැඩි ආදායමක් උපයා ගන්නේ කෙසේද යන්න පමණක් නොවේ. එම සංවර්ධනය පදනම් වී ඇති සමුද්‍රීය පරිසර පද්ධති, ධීවර සම්පත් සහ වෙරළබඩ ප්‍රජාවන් දුර්වල කර නොගෙන ආර්ථික සංවර්ධනය ළඟා කර ගන්නේ කෙසේද යන්නයි.
ඒ අනුව තිරසාර සාගර ආර්ථිකයක් යනු මුහුදේ වාණිජ ක්‍රියාකාරකම් පුළුල් කිරීමක් පමණක් ලෙස සැලකිය නොහැකිය. ආර්ථික අවස්ථා, පාරිසරික ආරක්ෂාව, විද්‍යාත්මක සාක්ෂි සහ ජනතාවගේ අවශ්‍යතා අතර සමබරතාවක් රඳවා ගනිමින් සාගර සම්පත් කළමනාකරණය කිරීම සඳහා වෙනස්ම ප්‍රවේශයක් ඊට අවශ්‍ය වේ.
එම සමබරතාව ළඟා කර ගැනීමට උත්සාහ කරන රටවලට ඔස්ට්‍රේලියාවේ අත්දැකීම් වටිනා පාඩම් සපයයි.

තිරසාර සාගර ආර්ථිකයක් සඳහා ආයෝජනවලට වඩා වැඩි යමක් අවශ්‍ය වේ
සාගර සහ වෙරළබඩ සම්පත් හා බැඳුණු කර්මාන්ත සහ ආර්ථික ක්‍රියාකාරකම් හැඳින්වීම සඳහා “සාගර ආර්ථිකය” හෙවත් “නිල් ආර්ථිකය” (Blue Economy) යන යෙදුම වර්තමානයේ වැඩි වශයෙන් භාවිත වේ.
කෙසේ වෙතත්, මුහුදේ සිදු කරන සෑම ක්‍රියාකාරකමක්ම ස්වයංක්‍රීයව තිරසාර සාගර ආර්ථිකයකට දායක වන්නේ නැත.
සැබෑ තිරසාරභාවය සඳහා නිරෝගී සාගර පරිසර පද්ධති, විශ්වාසදායක විද්‍යාත්මක පර්යේෂණ, ඵලදායී නීති රීති, ප්‍රජා සහභාගීත්වය සහ දිගු කාලීනව සාගර සම්පත් සම්බන්ධ තරඟකාරී ඉල්ලුම් කළමනාකරණය කළ හැකි ආයතන අවශ්‍ය වේ.
‘ඉන්දීය සාගරයේ බංග්ලාදේශ බොක්කෙහි තිරසාර සාගර ආර්ථිකයක් සවිබල ගැන්වීම’ (Enabling a Sustainable Blue Economy in the Bay of Bengal) නම් වූ 2026 ඔස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව වැඩසටහන (Australia Awards Fellowship programme) සඳහා මෙම ප්‍රතිපත්ති මූලික විය.
ඔස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) හරහා අරමුදල් සැපයුණු මෙම වැඩසටහනට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලින් නියෝජිතයින් 15 දෙනෙක් එක්වූහ.
මෙය වොලොන්ගොං විශ්වවිද්‍යාලයේ (University of Wollongong) පිහිටි ඔස්ට්‍රේලියානු ජාතික සාගර සම්පත් හා ආරක්ෂක මධ්‍යස්ථානය (ANCORS) විසින් මෙහෙයවන ලදී.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් කලාපීය ආයතන කිහිපයක් ඔස්ට්‍රේලියානු පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත විශේෂඥයින් සමඟ සම්බන්ධ කරන ලදී.
ඊට සහභාගී වූ ආයතන අතරට පහත ඒවා ඇතුළත් වේ:
- ශ්‍රී ලංකාවේ පාත්ෆයින්ඩර් පදනම (Pathfinder Foundation – PF).
- ඉන්දියාවේ ජාතික සමුද්‍රීය පදනම (National Maritime Foundation – NMF).
- බංග්ලාදේශයේ සමුද්‍රීය පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (BIMRAD).
ඔස්ට්‍රේලියාවේ සාගර කර්මාන්ත ක්‍රියාත්මක වන ආකාරය සහ වඩාත් වැදගත් ලෙස විද්‍යාත්මක පර්යේෂණ, නියාමනය සහ රජයේ ප්‍රතිපත්ති ඒවායේ සංවර්ධනයට දායක වන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීමට මෙම වැඩසටහන මඟින් අවස්ථාව සැලසුණි.
සමුද්‍ර විද්‍යාව රජයේ ප්‍රතිපත්ති සමඟ සම්බන්ධ කිරීම
2026 පෙබරවාරි මාසයේදී වොලොන්ගොං, සිඩ්නි, කැන්බරා සහ ටැස්මේනියා යන ප්‍රදේශවල අධ්‍යයන චාරිකාවල නිරත වෙමින් සහභාගී වූවන් සමුද්‍රීය පර්යේෂණ, ජලජීවී වගාව, සාගර පාලනය, පුනර්ජනනීය බලශක්තිය සහ ඒකාබද්ධ සාගර කළමනාකරණය පිළිබඳව අධ්‍යයනය කළහ.
මෙම වැඩසටහනෙන් උගත් වැදගත්ම පාඩමක් වූයේ මෙම ක්‍රියාකාරකම් එකිනෙකින් වෙන් වූ හුදකලා කර්මාන්ත ලෙස ඵලදායීව කළමනාකරණය කළ නොහැකි බවයි.
ඒවා ආර්ථික සංවර්ධනය, පාරිසරික ආරක්ෂාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති එකට එක්ව ක්‍රියා කළ යුතු විශාල අන්තර් සම්බන්ධිත පද්ධතියක කොටසකි.
සාගර ආර්ථික සහයෝගීතා පර්යේෂණ මධ්‍යස්ථානයේ (Blue Economy Cooperative Research Centre) මැදිහත්වීම මඟින් පර්යේෂකයන්ට, කර්මාන්ත නියෝජිතයන්ට සහ රජයේ ආයතනවලට මුහුදුබඩ ජලජීවී වගාව, පුනර්ජනනීය බලශක්තිය සහ සමුද්‍ර විද්‍යාව සම්බන්ධයෙන් එක්ව කටයුතු කළ හැකි ආකාරය පෙන්වා දුන්නේය.
එවැනි සහයෝගීතාවක් මඟින් විද්‍යාත්මක දැනුම හුදෙක් පොත්පත්වලට හෝ පර්යේෂණ වාර්තාවලට පමණක් සීමා නොවී, සැබෑ ප්‍රතිපත්ති සහ ආයෝජන තීන්දු කෙරෙහි බලපෑම් කිරීම තහවුරු වේ.
මෙම ප්‍රවේශය ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වේ.
උපායමාර්ගික සමුද්‍රීය පිහිටීම, ස්ථාපිත ධීවර කර්මාන්තය, වෙරළබඩ සංචාරක අංශය, වැදගත් වරායන්, ජලජීවී වගා ක්‍රියාකාරකම් සහ විවිධ සාගර පරිසර පද්ධති ඇතුළුව සාගර ආර්ථිකයක් සංවර්ධනය කිරීමට අවශ්‍ය මූලික සම්පත් බොහොමයක් අප රට සතුව දැනටමත් පවතී.
මෙහි ඇති ගැටලුව අවස්ථා හිඟ වීම නොවේ.
එම අවස්ථා තිරසාර ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් පර්යේෂණ ධාරිතාවක්, ආයතනික සම්බන්ධීකරණයක් සහ නියාමන ආරක්ෂණ විධිවිධාන තිබේද යන්නයි.
ඔස්ට්‍රේලියාව ප්‍රයෝජනවත් උදාහරණ සපයන නමුත්, ශ්‍රී ලංකාවේ ආර්ථික, පාරිසරික සහ ආයතනික තත්ත්වයන් සලකා බැලීමකින් තොරව එරට පද්ධති එලෙසම අනුකරණය නොකළ යුතුය.
ඔස්ට්‍රේලියාවේ තිරසාර සාගර සැලැස්ම රාමුවක් සපයයි
ඔස්ට්‍රේලියාවේ 2026 තිරසාර සාගර සැලැස්ම (Sustainable Ocean Plan) මඟින් විවිධ සාගර කර්මාන්ත සහ පාරිසරික ප්‍රමුඛතා එකම සම්බන්ධීකරණ ජාතික රාමුවක් යටතට ගෙන ආ හැකි ආකාරය පෙන්නුම් කරයි.
මෙම සැලැස්ම ආර්ථික සංවර්ධනය, පාරිසරික ආරක්ෂාව, දේශගුණික ක්‍රියාමාර්ග, ආදිවාසී ප්රජාවන්ගේ සහභාගීත්වය, විද්‍යාත්මක දැනුම සහ රජයේ ආයතන අතර සහයෝගීතාව එකිනෙක සමඟ සම්බන්ධ කරයි.
ධීවර කර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය, ජෛව විවිධත්වය, නාවික ප්‍රවාහනය සහ වෙරළබඩ ප්‍රජාවන් යන සියල්ලම එකම සාගර පරිසරයක් මත යැපෙන බව එය හඳුනා ගනී.
මේ නිසා, එක් අංශයකට බලපාන තීන්දු තීරණ වෙනත් අංශ කිහිපයකටම ප්‍රතිවිපාක ඇති කළ හැකිය.
විසිරී ගිය රජයේ වැඩසටහන් හරහා නොව සාගර සම්පත් සාමූහිකව කළමනාකරණය කිරීමේ වැදගත්කම ඔස්ට්‍රේලියානු ප්‍රවේශය මඟින් ඉස්මතු කරයි.
ශ්‍රී ලංකාවට මෙහි ප්‍රායෝගික බලපෑම ඉතා වැදගත්ය.
ධීවර ප්‍රතිපත්තිය වෙරළබඩ කළමනාකරණයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කළ නොහැකිය. සාගර සංචාරක ව්‍යාපාරය සංවේදී පරිසර පද්ධති සහ පවතින සම්පත් භාවිත කරන්නන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය.
මුහුදුබඩ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා මසුන් ඇල්ලීමේ බිම්, සාගර ජෛව විවිධත්වය සහ යටිතල පහසුකම්වල පාරිසරික ප්‍රතිවිපාක පිළිබඳ නිසි අවබෝධයක් අවශ්‍ය වේ.
වරාය සංවර්ධනය ද වෙරළබඩ අවකාශයට බලපාන අතර, දේශගුණික විපර්යාස සෑම ප්‍රධාන සාගර ආශ්රිත කර්මාන්තයකටම බලපෑම් කරයි.
එබැවින් ඵලදායී සාගර ආර්ථිකයක් සඳහා ධීවර, පරිසර, සංචාරක, වරාය, බලශක්ති, විද්‍යාත්මක පර්යේෂණ සහ පළාත් පාලන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් අවශ්‍ය වේ.
එම සම්බන්ධීකරණය නොමැතිව, එක් කර්මාන්තයක් දියුණු කිරීමට සකස් කරන ප්‍රතිපත්ති මඟින් නොදැනුවත්වම තවත් කර්මාන්තයකට හානි සිදුවිය හැකිය.
තිරසාර ධීවර කර්මාන්තයක් සඳහා විද්‍යාත්මක කළමනාකරණය අත්‍යවශ්‍ය වේ
ඔස්ට්‍රේලියාවේ ධීවර කළමනාකරණ පද්ධතිය බංග්ලාදේශ බොක්ක කලාපය සඳහා තවත් වැදගත් පාඩමක් සපයයි.
ඔස්ට්‍රේලියානු ධීවර කළමනාකරණ අධිකාරිය (AFMA) වාණිජ මසුන් ඇල්ලීමේ තීරණ මඟ පෙන්වීම සඳහා විධිමත් අස්වැන්න උපාය මාර්ග (harvest strategies) භාවිත කරයි.
මෙම උපාය මාර්ග මඟින් මත්ස්‍ය සම්පත පිළිබඳ විද්‍යාත්මක තක්සේරු කිරීම්, අල්ලා ගැනීමට අවසර දෙන මසුන් ප්‍රමාණය පිළිබඳ තීරණ සමඟ සම්බන්ධ කරයි.
පාරිසරික තිරසාරභාවයට ප්‍රමුඛත්වය දෙමින් ආර්ථික වශයෙන් ශක්තිමත් ධීවර කර්මාන්තයක් පවත්වා ගැනීම ඒවායේ අරමුණයි.
මසුන් ඇල්ලීමේ ක්‍රියාකාරකම් දරා ගැනීමට පරිසර පද්ධතිවලට ඇති හැකියාව සහ මත්ස්‍ය ගහනය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව අස්වැන්න ප්‍රමාණය තීරණය විය යුතුය යන්න මෙහි මූලික ප්රතිපත්තියයි.
මෙම ප්‍රවේශය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සඳහා සෘජුවම අදාළ වේ.
මුළු කලාපය පුරාම ධීවර කර්මාන්තය ආර්ථික හා සමාජීය වශයෙන් ඉතා වැදගත් වුවද, අධික ලෙස මසුන් ඇල්ලීම, දේශගුණික විපර්යාස, වාසස්ථාන විනාශ වීම සහ නීතිවිරෝධී මසුන් ඇල්ලීම ඇතුළු අභියෝග රැසකට එම කර්මාන්තය මුහුණ දී සිටී.
තිරසාර ධීවර උපාය මාර්ගයක් යනු මත්ස්‍ය අස්වැන්න වැඩි කිරීම, ධීවර යාත්‍රා ප්‍රමාණය ඉහළ දැමීම හෝ අපනයන ආදායම වැඩි කිරීම මත පමණක් පදනම් වූවක් නොවේ.
ඊට පහත සඳහන් දෑ ද අත්‍යවශ්‍ය වේ:
- මත්ස්‍ය ගහනය සහ සාගර පරිසර පද්ධති පිළිබඳ නිවැරදි තක්සේරු කිරීම්.
- විශ්වාසදායක ධීවර දත්ත සහ විද්‍යාත්මක අධීක්ෂණය.
- ධීවර නීති රීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම.
- වාණිජමය වශයෙන් වැදගත් වන මත්ස්‍ය විශේෂ දිගුකාලීනව කළමනාකරණය කිරීම.
- පොදු සාගර සම්පත් අධීක්ෂණය කිරීමේදී කලාපීය සහයෝගීතාවය.
- මත්ස්‍ය වාසස්ථාන ආරක්ෂා කිරීම සහ අනවශ්‍ය ලෙස දැල්වලට හසුවන මසුන් (bycatch) වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීම.
මසුන් ඇල්ලීමේ සීමාවන් පිළිබඳ තීරණ රැකියාවලට, ආහාර සැපයුමට සහ වෙරළබඩ ප්රජාවන්ගේ ආදායමට සෘජුවම බලපාන බැවින් විද්‍යාත්මක විනිවිදභාවය විශේෂයෙන් වැදගත් වේ.
පර්යේෂණ සඳහා වැඩිපුර ආයෝජනය කිරීමෙන් සහ නියාමන හා කළමනාකරණ ආයතන විසින් විද්‍යාත්මක සොයාගැනීම් අඛණ්ඩව භාවිත කිරීම තහවුරු කිරීමෙන් ශ්‍රී ලංකාවට ධීවර කළමනාකරණය ශක්තිමත් කළ හැකිය.
සාගර සම්පත් රටවල් සහ පරිපාලන සීමාවන් ඉක්මවා පැතිරී පවතී.
එබැවින් කලාපීය විද්‍යාත්මක සහයෝගීතාව, දත්ත බෙදාගැනීම සහ සම්බන්ධීකරණ අධීක්ෂණය බංග්ලාදේශ බොක්කෙහි සාගර ආර්ථික න්‍යාය පත්‍රයේ අත්‍යවශ්‍ය අංග බවට පත්විය යුතුය.
නූතන ධීවර පාලනය වාණිජමය වශයෙන් වටිනා මත්ස්‍ය තොගවල තත්ත්වයට වඩා පුළුල්ව සිතිය යුතුය.
එය අනවශ්‍ය ලෙස මසුන් හසුවීම, වාසස්ථානවලට වන හානි, පරිසර පද්ධතියේ නිරෝගීභාවය සහ ධීවර ප්රජාවන්ගේ ආර්ථික ශක්තිය යන කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය.
ධීවර කර්මාන්තය මත්ස්‍ය සැකසුම්කරුවන්, වෙළඳුන්, පවුල් සහ ප්‍රදේශයේ ව්‍යාපාර සඳහා සහාය වන බැවින්, මුහුදේදී ගන්නා තීරණ සමස්ත වෙරළබඩ ආර්ථිකයටම බලපෑම් කරයි.
ටැස්මේනියාව ජලජීවී වගාවේ අවස්ථා සහ අවදානම් පෙන්නුම් කරයි
ඔස්ට්‍රේලියානු අත්දැකීම් මඟින් ජලජීවී වගා (මත්ස්‍ය, ඉස්සන් ආදී වගාවන්) සංවර්ධනය පිළිබඳ ප්‍රයෝජනවත් පාඩම් ද සපයයි.
ටැස්මේනියාවට කළ අධ්‍යයන චාරිකා මඟින් නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා නූතන ජලජීවී වගා තාක්ෂණය, විශේෂඥ පර්යේෂණ පහසුකම් සහ විද්‍යාත්මක කළමනාකරණයේ ඇති හැකියාව පෙන්නුම් කෙරුණි.
ජලජීවී වගාව ආහාර සුරක්ෂිතතාව, රැකියා උත්පාදනය සහ ආර්ථික විවිධාංගීකරණය සඳහා විශාල දායකත්වයක් ලබා දිය හැකිය.
කෙසේ වෙතත්, එය පුළුල් කිරීමේදී පාරිසරික සහ නියාමන අභියෝග ද මතු වේ.
කර්මාන්තය දියුණු වන විට පාරිසරික තක්සේරු කිරීම් සිදු කිරීම, පාරිසරික බලපෑම් අධීක්ෂණය කිරීම සහ මහජන වගවීම පවත්වාගෙන යාමේ වැදගත්කම ඔස්ට්‍රේලියාවේ අත්දැකීම් මඟින් පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ අරමුණ විය යුත්තේ අතිරේක ජලජීවී වගා ආයෝජන ආකර්ෂණය කර ගැනීම පමණක් නොවේ.
එම ව්‍යාප්තිය සඳහා විශ්වාසදායක පාරිසරික මූලික තොරතුරු, රෝග නිරීක්ෂණය, පරිසරයට දරාගත හැකි ධාරිතාව පිළිබඳ පර්යේෂණ (carrying-capacity research) සහ පාරිසරික බලපෑම් අධීක්ෂණය හා කළමනාකරණය කිරීමේ පැහැදිලි පද්ධති තිබිය යුතුය.
මහා පරිමාණ නිෂ්පාදන ආරම්භ කළ පසු සිදුවන පාරිසරික හානිය ආපසු හැරවීම දුෂ්කර හා මිල අධික විය හැකි බැවින් මෙම ආරක්ෂක විධිවිධාන විශේෂයෙන් වැදගත් වේ.
එබැවින්, හානිය සිදු වූ පසු එය තක්සේරු කිරීමට පමණක් පර්යේෂණ භාවිත කරනවා වෙනුවට, ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර පර්යේෂණ දත්ත මත පදනම්ව ආයෝජන තීන්දු ගත යුතුය.
විශ්වවිද්‍යාල සාගර ප්‍රතිපත්ති හැඩගැස්වීමට උපකාරී විය යුතුය
විද්‍යාත්මක දැනුම ප්‍රායෝගික තීන්දු සමඟ සම්බන්ධ කිරීමේදී විශ්වවිද්‍යාල සහ විශේෂඥ පර්යේෂණ ආයතන වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
වොලොන්ගොං විශ්වවිද්‍යාලය සහ ANCORS වැනි ආයතන සාගර නීතිය, ධීවර පාලනය, සමුද්‍රීය ආරක්ෂාව සහ සාගර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥ දැනුම ඒකාබද්ධ කරයි.
ANCORS ආයතනය විශේෂයෙන්ම ඒකාබද්ධ සහ සමාජයේ සියලු පාර්ශ්ව ඇතුළත් කරගත් පාලනයකට අවධාරණය කරමින්, සාගර හා වෙරළබඩ සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම හරහා සාගර ආර්ථිකයට ප්‍රවේශ වේ.
ශ්‍රී ලංකාව සතුව ද සැලකිය යුතු විද්‍යාත්මක හා ශාස්ත්‍රීය විශේෂඥ දැනුමක් පවතී.
එසේ වුවද, විශ්වවිද්‍යාල, පර්යේෂණ සංවිධාන, අමාත්‍යාංශ, නියාමන අධිකාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර මීට වඩා ශක්තිමත් සම්බන්ධතා ගොඩනැගිය යුතුය.
පර්යේෂණ වාර්තාවක් ප්‍රකාශයට පත් කළ පමණින් එම කාර්යය අවසන් නොවිය යුතුය.
එහි සොයාගැනීම් ධීවර කළමනාකරණයට, වෙරළබඩ සංවර්ධන තක්සේරු කිරීම්වලට සහ නව සාගර කර්මාන්ත පිළිබඳ තීන්දු ගැනීමට සෘජුවම දායක විය යුතුය.
ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති, පශ්චාත් උපාධි පුහුණුවීම්, වෘත්තීය හුවමාරු සහ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල හා පර්යේෂණ මධ්‍යස්ථාන සමඟ තාක්ෂණික හවුල්කාරිත්වයන් හරහා වැඩි සහයෝගීතාවක් ඇති කරගත හැකිය.
මෙම සම්බන්ධතාව වර්ධනය කර ගැනීමෙන් සාගර සම්පත් කළමනාකරණයට වගකිවයුතු ආයතනවලට අවශ්‍ය විද්‍යාත්මක සාක්ෂි ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇත.
එය වඩ වඩාත් සංකීර්ණ වන සාගර කර්මාන්ත අධීක්ෂණය කිරීමට අවශ්‍ය වෘත්තීය විශේෂඥ දැනුම වර්ධනය කිරීමට ද සහාය වනු ඇත.
බංග්ලාදේශ බොක්ක ආශ්රිත රටවල් පොදු සමුද්‍රීය අභියෝගවලට මුහුණ දෙයි
ඔස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් විවිධ ආර්ථික තත්ත්වයන්, ආයතනික ව්‍යුහයන් සහ සංවර්ධන ප්‍රමුඛතා ඇති රටවල නියෝජිතයින් එකම තැනකට ගෙන ආවේය.
මෙම වෙනස්කම් තිබුණද, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය පොදු සමුද්‍රීය ගැටලු රාශියකට මුහුණ දෙයි.
දේශගුණික විපර්යාස, සාගර දූෂණය, නීතිවිරෝධී මසුන් ඇල්ලීම, ක්ෂය වන ධීවර සම්පත් සහ සමුද්‍රීය වෙළඳ අභියෝග හුදකලා ජාතික උත්සාහයන් හරහා පමණක් ඵලදායී ලෙස විසඳාගත නොහැකිය.
එබැවින් කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ.
බහු-ක්ෂේත්‍ර තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක මුලපිරීම (BIMSTEC) හරහා දැනටමත් ඊට ආයතනික පදනමක් පවතී.
මෙම සංවිධානය සාගර ආර්ථිකය සිය සහයෝගීතා ක්ෂේත්රවලට ඇතුළත් කර ඇති අතර, ධීවර කර්මාන්තය එහි කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතා ව්‍යුහය හරහා කළමනාකරණය කරනු ලැබේ.
මීළඟ අභියෝගය වන්නේ කලාපීය එකඟතාවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට පත් කිරීමයි.
සහයෝගීතාව සඳහා ඇති ප්‍රධාන ක්ෂේත්‍ර අතරට පහත දෑ ඇතුළත් වේ:
- ඒකාබද්ධ ධීවර පර්යේෂණ සහ විද්‍යාත්මක තක්සේරු කිරීම්.
- වෘත්තීය පුහුණු කිරීම් සහ තාක්ෂණික හුවමාරු.
- සාගර දත්ත බෙදාගැනීම සහ සම්බන්ධීකරණ අධීක්ෂණය.
- සමුද්‍ර අවකාශීය සැලසුම්කරණය (Marine spatial planning).
- නිල් කාබන් (Blue carbon) පර්යේෂණ සහ පරිසර පද්ධති ආරක්ෂා කිරීම.
- වෙරළබඩ ඔරොත්තු දීමේ හැකියාව සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම.
මෙම ක්‍රියාකාරකම් මඟින් ශක්තිමත් ආර්ථික හා විද්‍යාත්මක සබඳතා ගොඩනඟා ගන්නා අතරම පොදු පාරිසරික පීඩනයන්ට මුහුණ දීමට රටවලට අවස්ථාව සැලසේ.
මෙම සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය එකම ආකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කිරීම අවශ්‍ය නොවේ.
සෑම රටකටම තමන්ටම ආවේණික සම්පත්, විශේෂඥ දැනුම සහ ප්‍රමුඛතා ඇත.
ඉන්දියාව සැලකිය යුතු සමුද්‍රීය පර්යේෂණ සහ උපායමාර්ගික හැකියාවන් දායක කරයි. බංග්ලාදේශය ජලජීවී වගාව සහ වෙරළබඩ අනුවර්තනය පිළිබඳ අත්දැකීම් සපයන අතර, ශ්‍රී ලංකාව ධීවර විශේෂඥ දැනුම, උපායමාර්ගිකව වැදගත් සමුද්‍රීය පිහිටීමක් සහ ස්ථාපිත ආයතන ගෙන එයි.
ඔස්ට්‍රේලියාවට සාගර විද්‍යාව, ධීවර කළමනාකරණය, පාලනය සහ ආයතනික ධාරිතාව ගොඩනැංවීම පිළිබඳ විශේෂඥ දැනුම දායක කළ හැකිය.
මෙම ශක්තීන් එකිනෙකට අනුපූරක වන විට කලාපීය සහයෝගීතාව වඩාත් ඵලදායී වේ.
ඔස්ට්‍රේලියාව මූලධර්ම සපයයි, අනුකරණය කළ යුතු ආකෘතියක් නොවේ
ඔස්ට්‍රේලියාවේ සාගර ආර්ථික අත්දැකීම් අධ්‍යයනය කිරීමේ අරමුණ විය යුත්තේ බංග්ලාදේශ බොක්ක පුරා එරට ආයතන සහ ප්‍රතිපත්ති එලෙසම පිහිටුවීම නොවේ.
මෙම කලාපයට වෙනස් ආර්ථික තත්ත්වයන්, සමාජ ව්‍යුහයන්, සාගර පරිසර පද්ධති සහ සංවර්ධන අවශ්‍යතා ඇත.
වඩාත් ප්‍රයෝජනවත් ප්‍රවේශය වන්නේ ඔස්ට්‍රේලියාවේ අත්දැකීම්වලට පදනම් වූ මූලධර්ම හඳුනාගෙන ඒවා අපගේ කලාපීය තත්ත්වයන්ට ගැළපෙන පරිදි අනුවර්තනය කර ගැනීමයි.
විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිපත්ති සමඟ සම්බන්ධ කිරීම, විශ්වාසදායක සාක්ෂි මත ධීවර තීරණ පදනම් කිරීම, කර්මාන්ත පුළුල් වීමට පෙර පාරිසරික ආරක්ෂණ විධිවිධාන පිහිටුවීම සහ එකම සාගර අවකාශය සඳහා තරඟ කරන ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම එම මූලධර්මවලට ඇතුළත් වේ.
අධීක්ෂණය සහ නීති බලාත්මක කිරීම සඳහා ආයෝජනය කිරීම, වෙරළබඩ ප්රජාවන්ගේ අර්ථවත් සහභාගීත්වය සහ නිරෝගී පරිසර පද්ධති වටිනා ආර්ථික වත්කම් ලෙස පිළිගැනීම ද ඊට ඇතුළත් වේ.
ඔස්ට්‍රේලියාවේ තිරසාර සාගර සැලැස්ම සාගරය අන්තර් සම්බන්ධිත පද්ධතියක් ලෙස සැලකීම මඟින් මෙම ප්‍රවේශය පිළිබිඹු කරයි.
එය පාරිසරික නිරෝගීභාවය සාගර කර්මාන්තවල දිගුකාලීන සාර්ථකත්වය සමඟ සම්බන්ධ කරන අතර කිසිදු තනි රජයේ ආයතනයකට, කර්මාන්තයකට හෝ ප්රජාවකට සාගර අභියෝග තනිවම කළමනාකරණය කළ නොහැකි බව හඳුනා ගනී.
බංග්ලාදේශ බොක්ක සඳහා මෙහි ඇති වැදගත්කම නව කර්මාන්ත සංවර්ධනයෙන් ඔබ්බට විහිදේ.
මෙම කලාපය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් සෘජුව හෝ වක්‍රව සාගර සහ වෙරළබඩ සම්පත් මත යැපෙති.
ධීවර කර්මාන්තය ආහාර සුරක්ෂිතතාවට සහ ජීවනෝපායන්ට සහාය වන අතර, වෙරළබඩ පරිසර පද්ධති පාරිසරික ආරක්ෂාව, ජෛව විවිධත්වය සහ ආර්ථික වටිනාකම සපයයි.
සංවර්ධනය මඟින් මෙම පදනම්වලට හානි සිදුවුවහොත්, කෙටි කාලීන ආර්ථික ව්‍යාප්තිය මඟින් එය නඟා සිටුවීමට අපේක්ෂා කළ කර්මාන්තවල දිගුකාලීන අනාගතය දුර්වල විය හැකිය.
කලාපීය සාගර ආර්ථිකයක් හැඩගැස්වීමට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකිය
වඩාත් තිරසාර සාගර සංවර්ධන ප්රවේශයකට දායක වීමට ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් තිබේ.
ජාතික මට්ටමින්, මේ සඳහා සමුද්‍ර විද්‍යාව සහ රජයේ ප්‍රතිපත්ති අතර ශක්තිමත් සම්බන්ධතා, වැඩිදියුණු කළ ධීවර කළමනාකරණය, සාගර ආශ්රිත කර්මාන්ත අතර සම්බන්ධීකරණ සැලසුම්කරණය සහ පාරිසරික අධීක්ෂණය සඳහා වැඩි ආයෝජන අවශ්‍ය වේ.
වෙරළබඩ ප්‍රජාවන්ට ද ඔවුන්ගේ සම්පත් සහ ජීවනෝපායන්ට බලපාන තීන්දු සම්බන්ධයෙන් අර්ථවත් භූමිකාවක් තිබිය යුතුය.
කලාපීය මට්ටමින්, BIMSTEC සහ ඉන්දීය සාගර කලාපීය සංගමය (IORA) වැනි ආයතන සහ යාන්ත්‍රණ හරහා ශ්‍රී ලංකාවට ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ පර්යේෂණ සහ ප්‍රතිපත්තිමය සහයෝගීතාව ශක්තිමත් කළ හැකිය.
මෙම හවුල්කාරිත්වයන් මඟින් දැනුම බෙදාගැනීම, පොදු සම්පත් කළමනාකරණය කිරීම සහ පාරිසරික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රායෝගික පද්ධති පිහිටුවීමට උපකාරී වනු ඇත.
බංග්ලාදේශ බොක්කෙහි සාගර සම්පත් හෝ ආර්ථික අභිලාෂයන්ගේ හිඟයක් නැත.
එයට අවශ්‍ය වන්නේ එම අවස්ථා තිරසාර සංවර්ධනයක් බවට පරිවර්තනය කිරීමට හැකියාව ඇති ශක්තිමත් ආයතනික සහ විද්‍යාත්මක පදනමකි.
ශ්‍රී ලංකාව සහ එහි අසල්වැසියන් සඳහා, සාගර කර්මාන්ත වෙනම ආර්ථික අවස්ථා ලෙස සලකනවා වෙනුවට පර්යේෂණ, ප්‍රතිපත්ති, නියාමනය සහ පාරිසරික ආරක්ෂාව ඒකාබද්ධ කිරීමේ වටිනාකම ඔස්ට්‍රේලියාවේ අත්දැකීම් මඟින් පෙන්නුම් කරයි.
තිරසාර සාගර ආර්ථිකයක් යනු සාගර සම්පත් සූරාකෑමේ තවත් අදියරක් ලෙස තේරුම් නොගත යුතුය.
එය පාරිසරික නිරෝගීභාවය, ආහාර සුරක්ෂිතතාව, වෙරළබඩ ජීවනෝපායන් සහ දිගුකාලීන සමෘද්ධිය අතර ඇති සම්බන්ධතාව හඳුනා ගන්නා ආර්ථික සංවර්ධනය පාලනය කිරීමේ වෙනස්ම ප්‍රවේශයක් නියෝජනය කරයි.
බංග්ලාදේශ බොක්කෙහි සාගර ආශ්රිත කර්මාන්ත කෙරෙහි වැඩෙන උනන්දුව තාවකාලික ආර්ථික ප්රතිලාභ හෝ කල් පවතින කලාපීය සමෘද්ධියක් ඇති කරන්නේද යන්න රඳා පවතින්නේ එම මූලධර්ම ප්‍රතිපත්ති සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට කොතරම් දුරට ඵලදායී ලෙස පරිවර්තනය කරන්නේද යන්න මතය.
මූලාශ්‍රය: LANKA LEADER




