
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන 2027 මාර්තු මාසයේදී අවසන් වීමෙන් පසු, මෙරට ආර්ථිකය දේශීය වශයෙන් උපයා ගන්නා මූල්‍ය සම්පත් මත පදනම්ව පවත්වාගෙන යාමේ අභියෝගයට මුහුණ දීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකාර ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් ‘ස්ථාවරත්වයෙන් ඉදිරියට – වර්ධනය සඳහා ගොඩනැඟෙමු’ යන තේමාව යටතේ සංවිධානය කළ 2027 අයවැය සංසදයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙරට වත්මන් ආර්ථික ක්‍රියාවලිය පෙට්‍රල් එන්ජිමකින් සහ විදුලි මෝටරයකින් එකවර ක්‍රියාත්මක වන දෙමුහුන් (Hybrid) වාහනයකට සමාන කළ විජේවර්ධන මහතා, ආර්ථිකය යළි නඟාසිටුවීම සඳහා මෙතෙක් අමතර ජවයක් සැපයූ විදුලි මෝටරයේ කාර්යභාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉටු කළ බව පැහැදිලි කළේය.
2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් සාපේක්ෂව කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්වීමට හැකිවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සහ ණයහිමි රටවල සහයෝගය හේතුවෙන් බවද ඔහු සිහිපත් කළේය.
කෙසේ වෙතත්, වත්මන් IMF වැඩසටහනේ කාලසීමාව අවසන් වීමත් සමඟ 2027 අප්‍රේල් මාසයේ සිට එම අමතර ජවය නොමැතිව ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සිදුවන බව හිටපු නියෝජ්‍ය අධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, 2027 වසරේ ඉතිරි මාස නවයක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තමන් සතු ‘පෙට්‍රල් එන්ජිමෙන්’ හෙවත් දේශීය ආර්ථික ශක්තියෙන් පමණක් ධාවනය කිරීමට සිදුවනු ඇතැයි ඔහු පැවසීය.
මෙම තත්ත්වය හමුවේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කරගනිමින් වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් බව ඔහුගේ අදහස විය.
එම අභියෝගයට මුහුණ දීම සඳහා වත්මන් වැඩසටහන අවසන් වීමෙන් පසුවද රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් නව වැඩසටහනකට එළඹෙනු ඇතැයි තමන් පෞද්ගලිකව අපේක්ෂා කරන බව ආචාර්ය විජේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




