
ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් (Human Immunoglobulin) සහ රිටුක්සිමැබ් (Rituximab) ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට තමන් කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් රණසිංහ ගුණසේකර මහතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

තම ධුර කාලය තුළ අදාළ ඖෂධ සඳහා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අවසරපත් ලබාගැනීමට සැපයුම්කරු කිසිදු අයදුම්පතක් ඉදිරිපත් කර නොතිබූ බව ද ඔහු සඳහන් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී ඇති මෙම නඩුවේ 12 වැනි විත්තිකරු වන ගුණසේකර මහතා 2026 නොවැම්බර් 3 වැනිදා සිය විත්තිවාචකය අධිකරණය හමුවේ ඉදිරිපත් කළේය.
2022 ආර්ථික අර්බුදය හමුවේ හඳුන්වා දුන් හදිසි ඖෂධ නියාමන ක්‍රියාපටිපාටිය පමණක් පදනම් කරගනිමින් ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීමේ වගකීම තමන් වෙත පැවරිය නොහැකි බව ඔහුගේ ප්‍රකාශයෙන් අවධාරණය විය.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දක්වමින් ගුණසේකර මහතා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වගකීම ඖෂධ නියාමනය කිරීම මිස ඒවා මිලදී ගැනීම නොවන බවය.
රට තුළ පැවැති උග්‍ර ඖෂධ හිඟය හමුවේ නියාමන අනුමැතිය ලබාදීම කඩිනම් කිරීම සඳහා හඳුන්වා දුන් ක්‍රියාපටිපාටිය නිල ක්‍රමවේද ඔස්සේ සකස් කර අධිකාරියේ පාලක මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද ඔහු පැවසීය.
එම තාවකාලික ක්‍රමවේදය යටතේ ලබාදුන් අනුමැතීන් පිළිබඳ වාර්තා පාලක මණ්ඩලයට නිතිපතා ඉදිරිපත් කළ නමුත් එය අත්හිටුවීමට හෝ ලබාදුන් අනුමැතීන් අවලංගු කිරීමට කිසිදු උපදෙසක් නොලැබුණු බව ඔහුගේ විත්තිවාචකයේ සඳහන් වේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අභ්‍යන්තර පරිපාලන දුර්වලතා, හදිසි ඖෂධ ආනයනය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය, සැපයුම්කරුවකු සමඟ සිදු කළ බව කියන දුරකථන සංවාදයක් සහ ඖෂධවල අතුරු ප්‍රතික්‍රියා වාර්තා වූ විට අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පිළිබඳව ද ඔහු සිය ප්‍රකාශයෙන් කරුණු ඉදිරිපත් කළේය.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටුක්සිමැබ් ලෙස සපයා තිබූ ඖෂධ කුප්පි 6,195ක අදාළ ඖෂධ අඩංගු නොවූ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.
රුපියල් මිලියන 144.4කට ආසන්න රාජ්‍ය මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නීතිපතිවරයා චෝදනා 13ක් ගොනු කර ඇත.
එම චෝදනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් අධිකරණය විසින් මෙතෙක් ලබාදී නොමැති අතර, තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන ගුණසේකර මහතා ඒවායින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා තිබේ.
යුද හමුදා රෝහල් සේවයේ සිට වෛද්‍ය පරිපාලනය දක්වා
දශක තුනකට ආසන්න සිය වෛද්‍ය හා පරිපාලන සේවා ඉතිහාසය විස්තර කරමින් වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සිය විත්තිවාචකය ආරම්භ කළේය.
ගාල්ලේ උපත ලැබූ ඔහු පළමු ශ්‍රේණියේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වී තිබේ.
1993 සහ 1994 වසරවල විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතුවලට ඇති වූ බාධා හේතුවෙන් කෙටි කාලයක් සම්පත් බැංකුවේ විධායක නොවන සේවකයකු ලෙස කටයුතු කළ බව ද ඔහු සඳහන් කළේය.
1998 වසරේදී වෛද්‍ය උපාධිය ලබාගැනීමෙන් අනතුරුව සීමාවාසික පුහුණුව ආරම්භ වන තෙක් යුද හමුදා රෝහලක ස්වේච්ඡාවෙන් සේවය කර තිබේ.
අනුරාධපුර රෝහලේ සීමාවාසික පුහුණුව සම්පූර්ණ කළ ඔහු සිය පළමු වෛද්‍ය පත්වීම ලබාගෙන ඇත්තේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ කුරුළුවැව රෝහලටය.
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට වෛද්‍ය සේවා සැපයීමේදී මුහුණ දුන් දුෂ්කරතා මෙන්ම මෙරට යුද ගැටුම් පැවැති සමයේ යුද හමුදා ශල්‍ය වාට්ටුවල සේවය කළ ආකාරය පිළිබඳව ද ඔහු අධිකරණයට විස්තර කළේය.
ඉන් අනතුරුව අනුරාධපුර සහ රාගම රෝහල්වල ද සේවය කර ඇති ගුණසේකර මහතා 2004 වසරේ අගභාගයේදී වෛද්‍ය පරිපාලන විභාගය සමත් වී පශ්චාත් උපාධි පුහුණුව ලබා තිබේ.
2007 වසරේදී මාතර රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙස සිය පරිපාලන සේවා ජීවිතය ආරම්භ කළ ඔහු පසුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය පරිපාලනයේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමට පෙර පැවැති විලවුන්, උපකරණ හා ඖෂධ අධිකාරියේ සේවය කර ඇත.
ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්යක්ෂවරයා ලෙස සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අධ්යක්ෂවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබේ.
2015 වසරේදී ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයට එක්වූ ගුණසේකර මහතා කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ලෙස ද සේවය කළේය.
2016 වසරේ අරණායක සාමසර කන්ද නායයෑමේ ව්‍යසනය සිදුවූ අවස්ථාවේ සෞඛ්‍ය අංශයේ ප්‍රතිචාර කටයුතු සම්බන්ධීකරණයට තමන් දායක වූ බවත්, ඉන් අනතුරුව ජාතික රුධිර පාරවිලයන සේවයට අදාළ අමතර වගකීම් භාරගත් බවත් ඔහු පැවසීය.
2019 සහ 2020 අතර කාලය තුළ එක්සත් රාජධානියේ වෝවික් (Warwick) විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය ආර්ථික විද්‍යාව සහ නියාමන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව ලබාගත් බව ද අධිකරණය හමුවේ සඳහන් කෙරිණි.
මෙම තොරතුරු ඔහුගේ වෘත්තීය පළපුරුද්ද සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක ධුරයට පත්වීමට අදාළ පසුබිම පැහැදිලි කරන නමුත්, අධිකරණය හමුවේ විභාග වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන නිගමනයකට එළැඹීමට ඒවා පමණක් ප්‍රමාණවත් නොවේ.
කොවිඩ් වසංගතය අතරතුර යළි දිවයිනට
කොවිඩ්-19 වසංගතය පැවැති සමයේ ශ්‍රී ලංකාවට යළි පැමිණීමට ගත් තීරණය පිළිබඳව ද ගුණසේකර මහතා සිය ප්‍රකාශයෙන් විස්තර කළේය.
අනුමත නිවාඩු යටතේ විදේශගතව රැඳී සිටීමට හැකියාව තිබුණ ද, වසංගතයට මුහුණදීමේදී රසායනාගාර සේවාවල වැදගත්කම ඉහළ යමින් පැවැති බැවින් නියමිත කාලයට පෙර දිවයිනට පැමිණීමට තීරණය කළ බව ඔහු පැවසීය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට රැගෙන එන විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණි ඔහු රසායනාගාර සේවා අධ්යක්ෂවරයා ලෙස යළි රාජකාරි ආරම්භ කර තිබේ.
2021 වසරේදී මහරගම අපේක්ෂා රෝහලේ එවකට අධ්යක්ෂවරයා මියයෑමෙන් පසුව එම රෝහලේ වගකීම් ද භාරගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඔහුගෙන් ඉල්ලා ඇත.
ඒ අනුව අපේක්ෂා රෝහල සහ රසායනාගාර සේවා යන අංශ දෙකෙහිම වගකීම් තාවකාලිකව භාරගෙන කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.
2021 වසරේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක ධුරය සඳහා අයදුම් කර සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිය ද එම අවස්ථාවේදී ඔහු පත් කර නොතිබිණි.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සේවය කිරීමෙන් අනතුරුව 2022 වසරේදී අදාළ ධුරය භාරගන්නා ලෙස තමන්ට ආරාධනා ලැබුණු බව ගුණසේකර මහතා පැවසීය.
මීට පෙර පැවැති විධිමත් තෝරාගැනීමේ ක්‍රියාවලිය අනුව 2022 ජූලි 18 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පාලක මණ්ඩලය විසින් තමන් එම ධුරයට පත් කළ බව ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.
එම පත්වීම සිදුවූයේ ශ්‍රී ලංකාව සිය ආර්ථික ඉතිහාසයේ අතිශය දුෂ්කර කාලපරිච්ඡේදයකට මුහුණ දී සිටියදීය.
රෝහල්වල උග්‍ර ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයක් පැවැති අතර මූල්‍ය අර්බුදය හේතුවෙන් ඖෂධ මිලදී ගැනීමේ සහ ආනයනය කිරීමේ ක්‍රමවේදවලට බරපතළ බාධා එල්ල වී තිබිණි.
වසර ගණනාවක පරිපාලන අඩුපාඩු ගැන අධිකරණයට කරුණු
2022 ජූලි මාසයේදී තමන් ධුරය භාරගන්නා අවස්ථාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ බරපතළ පරිපාලන අඩුපාඩු රැසක් පැවැති බව ගුණසේකර මහතා සඳහන් කළේය.
2015 වසරේ සම්මත කරන ලද පනතක් යටතේ අධිකාරිය ස්ථාපිත කර තිබුණ ද, ඉන් වසර හතක් ගතවී තිබියදීත් අත්‍යවශ්‍ය ආයතනික කටයුතු රැසක් සම්පූර්ණ කර නොතිබූ බව ඔහු පැවසීය.
සේවකයන් බඳවාගැනීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන් අධිකාරියට අන්තර්ග්‍රහණය කිරීමේ කටයුතු නිසි පරිදි අවසන් වී නොතිබූ බව ද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.
අත්‍යවශ්‍ය මූල්‍ය හා පරිපාලන වාර්තා ඉදිරිපත් කිරීම ද සැලකිය යුතු ලෙස ප්‍රමාද වී තිබූ බවට ඔහු චෝදනා කළේය.
පාර්ලිමේන්තු අධීක්ෂණය සඳහා ඉදිරිපත් කළ යුතු වාර්ෂික ගිණුම් වසර පහක් තිස්සේ ඉදිරිපත් කර නොතිබූ බවත්, ආයතනික සැලැස්ම සම්පූර්ණ කර නොතිබූ බවත්, වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමේ වගකීම් ද පැහැර හැර තිබූ බවත් ඔහු සඳහන් කළේය.
මෙම අඩුපාඩු අධිකාරියේ දෛනික රාජකාරි කටයුතු සඳහා බලපෑ බව ගුණසේකර මහතාගේ ස්ථාවරයයි.
ඖෂධ, වෛද්‍ය උපකරණ, ඖෂධ අලෙවිසැල් සහ ඖෂධ නිෂ්පාදනය නියාමනය කිරීමේ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැවරී තිබේ. ඒ සඳහා විශේෂඥ තාක්ෂණික හා පරිපාලන අධීක්ෂණයක් අවශ්‍ය වේ.
අධිකාරියේ පාලක මණ්ඩලය සාමාන්‍යයෙන් මසකට වරක් රැස්වූ බැවින් මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීම්වලදී අධිකාරිය නියෝජනය කිරීම ප්‍රධාන විධායක නිලධාරියාගේ වගකීම වූ බව ඔහු පැවසීය.
අධිකාරිය සෘජුව පාලනය නොකළ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තුළ ඇති වූ හිඟය සම්බන්ධයෙන් නියාමන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් තත්ත්වය වඩාත් දුෂ්කර වූ බව ද ඔහු සඳහන් කළේය.
ඖෂධ නියාමනය කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම් සහ ඖෂධ මිලදී ගැනීම, බෙදාහැරීම හා තොග පවත්වාගෙන යෑම සඳහා වගකිව යුතු ආයතනවල කාර්යභාරය අතර වෙනස ඔහුගේ ප්‍රකාශයෙන් අවධාරණය කෙරිණි.
එම වෙනස නඩු විභාගයට අදාළ වුවද, එක් එක් නිලධාරියාට එරෙහි චෝදනා තක්සේරු කළ යුත්තේ ඔවුන්ට පැවරී තිබූ නිශ්චිත වගකීම් සහ ඔවුන් සිදු කළ බව කියන ක්‍රියාකාරකම් අනුවය.
පැනඩෝල් පෙත්තක්වත්, ගෝස් කැබැල්ලක්වත් සොයාගත නොහැකි වූ කාලයක්
2022 මූල්‍ය අර්බුදය අතරතුර මෙරට රෝහල් මුහුණදුන් ඖෂධ හා වෛද්‍ය සැපයුම් හිඟයේ බරපතළකම පිළිබඳව ද ගුණසේකර මහතා අධිකරණයට විස්තර කළේය.
සාමාන්‍ය පැරසිටමෝල් පෙති පවා ඇතැම් අවස්ථාවල පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වලින් ලබාගැනීම දුෂ්කර වූ බව ඔහු පැවසීය.
තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ගෝස් සහ වෙළුම් පටි වැනි මූලික වෛද්‍ය සැපයුම්වල හිඟයකට ද රෝහල් මුහුණ දී තිබිණි.
එම තත්ත්වය හමුවේ සෞඛ්‍ය පරිපාලකයන්ට, නියාමන බලධාරීන්ට සහ ඖෂධ සැපයීමේ වගකීම පැවරුණු ආයතනවලට දැඩි පීඩනයක් එල්ල විය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීම්වලදී හදිසියේ අවශ්‍ය වූ ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් නිරන්තරයෙන් ප්‍රශ්න කළ බව ඔහු සඳහන් කළේය.
ඖෂධ මිලදී ගැනීම අධිකාරියේ වගකීමක් නොවන බව ගුණසේකර මහතා යළිත් අවධාරණය කළේය.
වෙළෙඳපොළට ඇතුළු කෙරෙන ඖෂධ ලියාපදිංචි කිරීම, ඒවායේ ගුණාත්මකභාවය නියාමනය කිරීම සහ අදාළ අවසර ලබාදීම පමණක් අධිකාරියේ කාර්යභාරයට අයත් වූ බව ඔහුගේ ස්ථාවරය විය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු ප්‍රසම්පාදන ආයතන ඖෂධ ආනයනය ප්‍රමාද වීමට නියාමන ක්‍රියාපටිපාටි සහ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අවසරපත් නිකුත් කිරීමට ගතවන කාලය හේතු වන බවට නිරන්තරයෙන් කරුණු දැක්වූ බව ද ඔහු පැවසීය.
අත්‍යවශ්‍ය නියාමන අවශ්‍යතා අත් නොහරිමින් නීත්‍යනුකූල ඉල්ලීම් කඩිනමින් සලකා බැලීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට මෙම තත්ත්වය හේතු වූ බව ගුණසේකර මහතා කියා සිටියේය.
හදිසියේ අවශ්‍ය වූ ඖෂධ ආනයනයට පහසුකම් සැලසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය තාවකාලික ක්‍රියාපටිපාටියක් හඳුන්වා දී තිබුණේ මෙම පසුබිම තුළය.
2022 සැප්තැම්බර් මාසයේ හදිසි ඖෂධ අනුමැතිය සඳහා යෝජනාවක්
2022 සැප්තැම්බර් 2 වැනිදා විශේෂ ඖෂධ නියාමන ක්‍රමවේදයක් යෝජනා කරමින් ගුණසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිල ලිපියක් යොමු කර තිබේ.
මාස හයක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ එම ක්‍රමවේදයේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවට හදිසියේ අවශ්‍ය ඖෂධ සැපයීමේ කටයුතුවල නිරත අනුමත ආයතනවලට පහසුකම් සැලසීම බව ඔහු පැවසීය.
අර්බුදය අතරතුර ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්, විදේශීය රජයන් සහ බහුපාර්ශ්වික ආයතන රැසක් මෙරට සෞඛ්‍ය පද්ධතියට සහාය ලබාදී තිබිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම මූල්‍ය ආධාර හා ඖෂධ පරිත්‍යාග ලබාදුන් වෙනත් ආයතන ද ඒ අතර විය.
නියාමන අනුමැතිය ලබාදීම ප්‍රමාද වුවහොත් රෝහල්වලට හදිසියේ අවශ්‍ය පරිත්‍යාගශීලී ඖෂධ නිෂ්කාශනය කිරීම හා බෙදාහැරීම ද ප්‍රමාද විය හැකි බව ගුණසේකර මහතා පැහැදිලි කළේය.
ඔහු ඉදිරිපත් කළ යෝජනාව ප්‍රධාන කරුණු දෙකකින් සමන්විත විය.
පළමුවැන්න වූයේ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර නොතිබූ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා අවශ්‍ය අවස්ථාවලදී ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අවසර ලබාදීම පිළිබඳව සලකා බැලීමට විශේෂ ක්‍රමවේදයක් හඳුන්වාදීමයි.
දෙවැනි යෝජනාව වූයේ ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු අනුමත ආධාර සපයන ආයතන වෙත ලබාදීමයි.
හැකි සෑම අවස්ථාවකදීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පිළිගෙන තිබූ සැපයුම්කරුවන්ගෙන් සහ ලියාපදිංචි ඖෂධවලින් අවශ්‍යතා සපුරාගැනීමට දිරිගැන්වීම දෙවැනි යෝජනාවේ අරමුණ වූ බව ඔහු පැවසීය.
රට තුළට ගෙන එන ඖෂධ පිළිබඳ නියාමන අධීක්ෂණය පවත්වාගෙන යමින් සැපයුම් බාධා අවම කිරීමට අධිකාරිය උත්සාහ දරා ඇති බව ඔහුගේ පැහැදිලි කිරීමෙන් දැක්විණි.
එවැනි යෝජනාවක් ඉදිරිපත් කර තිබීම පමණක් ඉන් පසුව සිදු කළ සෑම ඖෂධ ආනයනයක්ම නිසි අනුමැතිය යටතේ සිදු වූ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවේ.
එක් එක් අයදුම්පත, නිර්දේශය, තක්සේරුව සහ අනුමැතිය අදාළ නීතිමය අවශ්‍යතා අනුව වෙන වෙනම පරීක්ෂා කළ යුතුය.
ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා අමාත්‍යාංශ නිර්දේශ අනිවාර්යයි
සාමාන්‍ය ඖෂධ ලියාපදිංචිය සහ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අවසරපතක් අතර පවතින වෙනස පිළිබඳව ද ගුණසේකර මහතා අධිකරණයට පැහැදිලි කළේය.
Waiver of Registration (WOR) ලෙස හඳුන්වන මෙම අවසරපත මගින් නිශ්චිත තත්ත්වයන් යටතේ සාමාන්‍ය ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොකර නිශ්චිත ඖෂධයක් හෝ ඖෂධ තොගයක් ආනයනය කිරීමට අවසර හිමිවේ.
විශේෂ ක්‍රමවේදය යටතේ වුවද විධිමත් ඉල්ලීමක් සහ ඊට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඉවත් කර නොතිබූ බව ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හෝ බලය පවරන ලද අතිරේක ලේකම්වරයකුගේ නිර්දේශයක් සමඟ අයදුම්පතක් ඉදිරිපත් කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවශ්‍යතාව වූ බව ගුණසේකර මහතා පැවසීය.
අනතුරුව එම අයදුම්පත සහ ඊට අදාළ ලේඛන අධිකාරිය තුළ පරීක්ෂාවට ලක් කෙරේ.
අයදුම්පත් ඇගයීමට ලක් කෙරෙන අභ්‍යන්තර ක්‍රියාවලිය පාලනය කිරීමට සැපයුම්කරුවන්ට හැකියාවක් නොතිබූ බව ද ඔහු සඳහන් කළේය.
ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අවසරපතක් යනු සීමාවකින් තොරව නැවත නැවත ඖෂධ ආනයනය කිරීමට හැකියාව ලබාදෙන බලපත්‍රයක් නොවන බව ඔහු පැහැදිලි කළේය.
අදාළ අවසරය නිශ්චිත ඖෂධ තොගයකට පමණක් අදාළ වන අතර, එය ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් ආනයන බලපත්‍රයක් නිකුත් කිරීම දක්වා ක්‍රියාත්මක වන ක්‍රියාවලියේ එක් කොටසකි.
රේගුවෙන් ඖෂධ නිෂ්කාශනය කරගැනීම සඳහා ද අවශ්‍ය ආනයන ලේඛන ඉදිරිපත් කළ යුතුය.
අධිකාරියට ලැබෙන අයදුම්පත් ඖෂධ නියාමන අංශයට අනුයුක්ත නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන අතර කිසියම් අඩුපාඩුවක් හඳුනාගතහොත් ඊට අදාළ නිරීක්ෂණ සටහන් කර වැඩිදුර සලකා බැලීම සඳහා යොමු කළ යුතු බව ගුණසේකර මහතා පැවසීය.
ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර ඒවා අභ්‍යන්තර සමාලෝචනයකට භාජනය වන බවත්, අදාළ තීරණ පිළිබඳව කමිටු සහ පාලක මණ්ඩලය වෙත වාර්තා කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙය ඔහු අධිකරණය හමුවේ විස්තර කළ ක්‍රියාපටිපාටිය වුවද, ප්‍රශ්නගත සෑම අවස්ථාවකදීම එය නිසි පරිදි අනුගමනය කර තිබේද යන්න තීරණය කළ යුත්තේ අධිකරණයට ඉදිරිපත් වන සාක්ෂි අනුවය.
මාස හයක විශේෂ ක්‍රමවේදයට පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කියයි
තාවකාලික ඖෂධ නියාමන ක්‍රමවේදය හඳුන්වාදීමේදී අධිකාරියේ පාලක මණ්ඩලය ඉටු කළ කාර්යභාරය ගුණසේකර මහතාගේ විත්තිවාචකයේ ප්‍රධාන කරුණකි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පැවැති ලිපි හුවමාරුවකින් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවලින් පසුව අදාළ ක්‍රමවේදය හඳුන්වා දුන් බව ඔහු අධිකරණයට පැවසීය.
2022 සැප්තැම්බර් 16 වැනිදා පැවැති පාලක මණ්ඩල රැස්වීමට මෙම ක්‍රමවේදය ඉදිරිපත් කර තිබූ බව ඔහු සඳහන් කළේය.
යෝජිත ක්‍රියාපටිපාටිය පිළිබඳව පාලක මණ්ඩල සාමාජිකයන්ට පැහැදිලි කර තිබුණේ ප්‍රධාන විධායක නිලධාරියා නොව සභාපතිවරයා විසින් බව ද ඔහුගේ ප්‍රකාශයේ දැක්වේ.
ඉන් අනතුරුව මාස හයක මූලික කාලයක් සඳහා අදාළ ක්‍රමවේදය ක්‍රියාත්මක කර ඇත.
එම ක්‍රමවේදය යටතේ නිකුත් කරන ලද අනුමැතීන් පිළිබඳ ලැයිස්තු පාලක මණ්ඩලයට නිතිපතා ඉදිරිපත් කළ බව ගුණසේකර මහතා පැවසීය.
එම ලේඛන අනුමත කළ බව හෝ සටහන් කරගත් බව දැක්වෙන සටහන් සහිතව යළි තමන් වෙත ලැබුණු බව ද ඔහු සඳහන් කළේය.
එම කාලය තුළ අදාළ ක්‍රමවේදය නතර කිරීමට, අනුමැතීන් අවලංගු කිරීමට හෝ මීට පෙර නිකුත් කළ අවසරපත් ආපසු කැඳවීමට පාලක මණ්ඩලයෙන් කිසිදු උපදෙසක් නොලැබුණු බව ඔහු පැවසීය.
ආයතනික තීරණ ගැනීමේ ක්‍රියාවලියක් හරහා නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අවස්ථාවක තනි පුද්ගලයකුගේ වගකීම තක්සේරු කළ යුත්තේ කෙසේද යන්න මෙම විත්තිවාචකය මගින් මතු කර තිබේ.
පාලක මණ්ඩලය ඒ පිළිබඳව දැනුවත්ව සිටීම හෝ අනුමැතිය ලබාදී තිබීම ප්‍රධාන විධායක නිලධාරියා සිය වගකීම් සීමාව තුළ කටයුතු කළේද යන්න තීරණය කිරීමේදී වැදගත් විය හැකිය.
එහෙත් එක් එක් අයදුම්පත, ලේඛනවල සත්‍යතාව සහ ව්‍යවස්ථාපිත වගකීම්වලට අනුකූලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධ සියලු ප්‍රශ්න එමගින් විසඳෙන්නේ නැත.
එම කරුණු තීරණය කළ යුත්තේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සාක්ෂි මතය.
හදිසි ඖෂධ ප්‍රසම්පාදනය සහ EOI ක්‍රමවේදය
ඖෂධ හිඟය උග්‍රවීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කළ හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රමවේදය පිළිබඳව ද ගුණසේකර මහතා සිය ප්‍රකාශයෙන් කරුණු දැක්වීය.
ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඖෂධ ලබාගැනීමේදී රෝහල් මුහුණ පා සිටි බරපතළ දුෂ්කරතා පිළිබඳව නිර්වින්දන වෛද්‍යවරයකු තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් අවස්ථාවක් ඔහු සිහිපත් කළේය.
නිර්වින්දනය සඳහා අවශ්‍ය ඇතැම් ඖෂධ පැවැතිය ද රෝගීන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වෙනත් ඖෂධවල හිඟයක් පැවැති බව එම වෛද්‍යවරයා දැනුම් දී තිබේ.
ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍ය කාර්ය මණ්ඩල මුහුණදුන් පීඩනය පැහැදිලි කිරීම සඳහා ගුණසේකර මහතා මෙම සිදුවීම උදාහරණයක් ලෙස ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය අභිලාෂ ප්‍රකාශ කැඳවීමේ (Expression of Interest – EOI) ක්‍රමවේදය යටතේ හදිසි ඖෂධ ප්‍රසම්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව ඔහු පැවසීය.
ඔහු ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් එම ක්‍රමවේදය යටතේ සලකා බලා තිබිණි.
ඒ අතරින් ඖෂධ වර්ග 170කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය හිමිවූ අතර, අවසානයේ ඖෂධ වර්ග 158කට පමණ වෛද්‍ය සැපයුම් අංශය විසින් මිලදී ගැනීමේ ඇණවුම් නිකුත් කර තිබේ.
ඊට අදාළ පිළිගැනීමේ ලිපිවල පිටපත් පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කර තිබිණි.
එම ලේඛන අධිකාරියට ලැබීමෙන් පමණක් මුල් ප්‍රසම්පාදන තීරණවල වගකීම අධිකාරියට පැවරෙන්නේ නැති බව ගුණසේකර මහතා අවධාරණය කළේය.
ඇතැම් ඖෂධ ඒ වන විටත් ලියාපදිංචි කර තිබීමත්, තවත් සැපයුම්කරුවන් මූල්‍ය හෝ මෙහෙයුම් දුෂ්කරතා හේතුවෙන් ඉවත් වීමත් නිසා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අවසරපත් අවශ්‍ය වී තිබුණේ සාපේක්ෂව සුළු සැපයුම්කරුවන් පිරිසකට බව ද ඔහු සඳහන් කළේය.
ඖෂධ මිලදී ගැනීමේ තීරණය සහ නිශ්චිත ඖෂධ ආනයනයට අවසර ලබාදෙන නියාමන ක්‍රියාපටිපාටිය අතර වෙනස පැහැදිලි කිරීම ඔහුගේ සාක්ෂියේ අරමුණ වී තිබිණි.
එහෙත් ලේඛන ඉදිරිපත් වූ අවස්ථාවලදී හෝ අක්‍රමිකතා හඳුනාගත හැකි වූ අවස්ථාවලදී නියාමන නිලධාරීන් සිය ව්‍යවස්ථාපිත වගකීම් නිසි ලෙස ඉටු කර තිබේද යන්න පරීක්ෂා කිරීම තවදුරටත් අවශ්‍ය වේ.
ප්‍රශ්නගත ඖෂධ සඳහා අවසරපත් නිකුත් නොකළ බවට ප්‍රකාශයක්
ගුණසේකර මහතාගේ විත්තිවාචකයේ වඩාත් වැදගත් කරුණක් වූයේ අපරාධ නඩුවට පාදක වී ඇති ඖෂධ වර්ග දෙක සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයයි.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් හෝ රිටුක්සිමැබ් ඖෂධ සඳහා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අවසර ලබාගැනීමට අදාළ සැපයුම්කරු ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත අයදුම්පත් ඉදිරිපත් කර නොතිබූ බව ඔහු මහාධිකරණයට පැවසීය.
ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය භාවිතයෙන් ඇති වූ සංකූලතා පිළිබඳව දැනගැනීමෙන් අනතුරුව නිශානි ලංකා නමැති අධිකාරියේ නිලධාරිනියක මාර්ගයෙන් ඒ පිළිබඳව සොයා බැලූ බව ද ඔහු සඳහන් කළේය.
එම පරීක්ෂා කිරීම්වලදී අදාළ ඖෂධය සඳහා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අවසරපතක් අධිකාරිය විසින් නිකුත් කර නොතිබූ බව තහවුරු වූයේ යැයි ගුණසේකර මහතා පැවසීය.
සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ අවශ්‍ය වන විධිමත් අයදුම්පත්, උපකාරක ලේඛන හෝ අමාත්‍යාංශ නිර්දේශ සැපයුම්කරු විසින් ඉදිරිපත් කර නොතිබූ බව ද ඔහු සඳහන් කළේය.
ප්‍රශ්නගත අවසරපත් සකස් කර තිබුණේ කොතැනකදීද යන්න පිළිබඳව තමන්ට දැනුමක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
නියාමන අනුමැතියට අදාළ බව කියන ලේඛන මෙම විමර්ශනයට ඇතුළත් වන බැවින් එම ප්‍රකාශය ඔහුගේ විත්තිවාචකයේ තීරණාත්මක කරුණකි.
ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී භාවිත කළ ලේඛන අතර ගුණසේකර මහතාගේ නමින් නිකුත් වූ අවසරපත් පැවැති බව මීට පෙර පළ වූ වාර්තාවල සඳහන් වී තිබිණි.
එම නිසා ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම සහ අදාළ ලේඛන අතර පවතින පරස්පරතාව මුල් ලේඛන, නිල ලේඛන පද්ධති, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සහ අනෙකුත් පිළිගත හැකි සාක්ෂි මත විසඳිය යුතුය.
නිලධාරියකුගේ නමින් ලේඛන අනවසරයෙන් සකස් කර හෝ භාවිත කර ඇත්නම් ඒවායේ සත්‍යතාව සහ මූලාරම්භය විමර්ශනයේ ප්‍රධාන කරුණු බවට පත්වනු ඇත.
එමෙන්ම එක් ලේඛන පද්ධතියක වාර්තාවක් නොමැති වීම පමණක් පදනම් කරගනිමින් අවසන් නිගමනයකට එළැඹිය නොහැකි අතර, එය අනෙකුත් ලේඛනගත සාක්ෂි සමඟ සසඳා බැලිය යුතු වේ.
ගුණසේකර මහතාගේ අපරාධමය වගකීම පිළිබඳව මහාධිකරණය මෙතෙක් අවසන් තීන්දුවක් ලබාදී නොමැත.
තත්පර 98ක දුරකථන ඇමතුම ගැන පැහැදිලි කිරීමක්
අදාළ ඖෂධ සැපයුම්කරු සමඟ පැවැති දුරකථන සංවාදයක් පිළිබඳව ද ගුණසේකර මහතා සිය විත්තිවාචකයෙන් කරුණු දැක්වීය.
2022 දෙසැම්බර් 2 වැනිදා පෙරවරු 10.38ට සිදුවූ බව වාර්තා වන මෙම දුරකථන ඇමතුම තත්පර 98ක කාලයක් පැවැති බව නඩු විභාගයේදී සඳහන් වී තිබේ.
එම ඇමතුම ලබාදුන්නේ තමන් නොව සැපයුම්කරු බව ගුණසේකර මහතා පැවසීය.
කර්මාන්තශාලාවකට අදාළ අනුමැතිය ලබාගැනීමේ කටයුතුවල ප්‍රගතිය විමසීම එම ඇමතුමේ අරමුණ වූ බව ඔහු සඳහන් කළේය.
ප්‍රශ්නගත ඖෂධ වර්ග දෙක මිලදී ගැනීමේ ක්‍රියාවලියට තමන් සම්බන්ධ වූ බව එම දුරකථන සංවාදයෙන් තහවුරු වන බවට කෙරෙන යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කළේය.
ඇමතුමේ දිනය, කාලසීමාව සහ එය සිදුවූ තත්ත්වයන් සාක්ෂි වශයෙන් වැදගත් වුවද, එම කරුණු පමණක් මත සංවාදයේ අන්තර්ගතය හෝ එහි නීතිමය වැදගත්කම තීරණය කළ නොහැකිය.
ඒ සඳහා විදුලි සංදේශ වාර්තා, අදාළ පුද්ගලයන්ගේ සාක්ෂි සහ අනෙකුත් උපකාරක සන්නිවේදන තොරතුරු පරීක්ෂා කළ යුතු වේ.
ගුණසේකර මහතා ඉදිරිපත් කළ මෙම පැහැදිලි කිරීම ඔහුගේ විත්තිවාචකයේ කොටසක් වන අතර එය පැමිණිල්ලේ සාක්ෂි සමඟ සසඳා බැලිය යුතුය.
2023 සැප්තැම්බරයේ රෝගීන්ට ඇති වූ අතුරු ප්‍රතික්‍රියා
ඖෂධ භාවිතයෙන් ඇතිවන බවට සැක කෙරෙන අතුරු ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කරන ආකාරය පිළිබඳව ද ගුණසේකර මහතා සිය ප්‍රකාශයෙන් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.
2023 සැප්තැම්බර් 20 වැනිදා මාතලේ සහ මහනුවර රෝහල්වල රෝගීන් අතර වාර්තා වූ සංකූලතා පිළිබඳව තමන්ට දැනගැනීමට ලැබුණු බව ඔහු පැවසීය.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධාන ප්‍රතිශක්තිවේද විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා සම්බන්ධ වෘත්තීය සායනික සන්නිවේදන ජාලයක් හරහා එම තොරතුරු තමන්ට ලැබුණු බව ගුණසේකර මහතා සඳහන් කළේය.
ඖෂධයක් භාවිතයෙන් ඇතිවන බවට සැක කෙරෙන අහිතකර ප්‍රතික්‍රියා තක්සේරු කිරීම සහ නියාමන පියවර ගැනීමේ අවශ්‍යතාව තීරණය කරන ආකාරය පිළිබඳව ඔහු අධිකරණයට පැහැදිලි කළේය.
මීට පෙර කිසිදු සංකූලතාවකින් තොරව භාවිත කළ ඖෂධයකින් වුවද පසුව අහිතකර ප්‍රතික්‍රියාවක් ඇතිවිය හැකි බව ඔහු පැවසීය.
වසර ගණනාවක් කිසිදු ගැටලුවකින් තොරව පෙනිසිලින් භාවිත කළ රෝගියකුට වුවද පසු අවස්ථාවකදී එම ඖෂධයට ආසාත්මිකතාවක් ඇතිවිය හැකි බව ඔහු උදාහරණයක් ලෙස සඳහන් කළේය.
ඖෂධයක් භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කිරීමට පෙර සායනික සාක්ෂි ප්‍රවේශමෙන් පරීක්ෂා කළ යුතු බව ඔහුගේ ස්ථාවරය විය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ආරක්ෂණ නිරීක්ෂණ පද්ධතිය සහ ආරක්ෂාව හා අවදානම ඇගයීමේ උපකමිටුව (SAFRESC) මෙම ක්‍රියාවලියට අදාළ වේ.
ප්‍රමාණවත් විද්‍යාත්මක තක්සේරුවකින් තොරව ඖෂධයක් භාවිතයෙන් ඉවත් කළහොත් ඊට සුදුසු විකල්පයක් නොමැති අවස්ථාවක ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව ගුණසේකර මහතා පැවසීය.
එවැනි තීරණයක් අදාළ ඖෂධය මත යැපෙන රෝගීන් විශාල පිරිසකට බලපෑ හැකි බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධයකින් අනපේක්ෂිත අතුරු ප්‍රතික්‍රියාවක් ඇතිවීම සහ ව්‍යාජ, දූෂිත හෝ ප්‍රමිතියෙන් තොර බවට සැක කෙරෙන ඖෂධයක් භාවිත කිරීම අතර වැදගත් වෙනසක් පවතී.
නීත්‍යනුකූල ඖෂධවලින් අනපේක්ෂිත ප්‍රතික්‍රියා ඇතිවිය හැකි බව පමණක් පදනම් කරගනිමින් ප්‍රශ්නගත ඖෂධයක් ආරක්ෂිත බව තහවුරු කළ නොහැකිය.
රෝගීන්ට පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පවතින බව සාක්ෂි මගින් තහවුරු වන අවස්ථාවක ඖෂධ සැපයුම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව දක්වමින් එම ඖෂධය තවදුරටත් බෙදාහැරීම සාධාරණීකරණය කළ නොහැකිය.
ඒ අනුව ගත යුතු නියාමන පියවර තීරණය වන්නේ පවතින ආරක්ෂණ තොරතුරු, වාර්තා වූ සිදුවීම්වල බරපතළකම, ඖෂධයේ සත්‍යතාව සහ එය තවදුරටත් භාවිත කිරීමෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක අනුවය.
ගුණසේකර මහතාගේ ප්‍රකාශයෙන් ඔහු අනුගමනය කළ බව කියන තීරණ ගැනීමේ ක්‍රමවේදය පැහැදිලි වන අතර, අධිචෝදනාවලට අදාළ ක්‍රියාකාරකම් නීත්‍යනුකූලව සහ තත්ත්වයට ගැළපෙන පරිදි සිදු කර තිබේද යන්න තීරණය කිරීම අධිකරණය සතු වගකීමකි.
නඩුව නිසා වෘත්තීය ජීවිතය අහිමි වූ බව කියයි
විමර්ශනය සහ නඩු පැවරීම හේතුවෙන් තම පෞද්ගලික හා වෘත්තීය ජීවිතයට ඇති වූ බලපෑම පිළිබඳව ගුණසේකර මහතා සිය විත්තිවාචකයේ අවසන් කොටසේදී කරුණු දැක්වීය.
මෙම නඩුව හේතුවෙන් තම වෘත්තීය ජීවිතය කඩාකප්පල් වූ බවත්, කීර්තිනාමයට බරපතළ හානියක් සිදුවූ බවත් ඔහු අධිකරණයට පැවසීය.
රැකියාව අහිමිවීමට අමතරව පුළුල් මහජන විවේචනයකට ද මුහුණදීමට සිදුවූ බව ඔහු සඳහන් කළේය.
ඖෂධ ප්‍රසම්පාදනය සහ නියාමනය අතර පවතින වෙනස අදාළ සිදුවීම පිළිබඳ බොහෝ සාකච්ඡාවලදී සැලකිල්ලට ගෙන නොමැති බව ගුණසේකර මහතාගේ අදහස විය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රශ්නගත ඖෂධ මිලදී නොගත් බවත්, සැපයුම්කරුවන් තෝරාගැනීමට, ප්‍රසම්පාදන ඇගයීම්වලට හෝ මිලදී ගැනීමේ ඇණවුම් නිකුත් කිරීමට තමන් සම්බන්ධ නොවූ බවත් ඔහු යළි අවධාරණය කළේය.
හදිසි ඖෂධ නියාමන ක්‍රමවේදය හඳුන්වාදීම ප්‍රශ්නගත ඖෂධ සඳහා තමන් අනුමැතිය ලබාදුන් බවට සාක්ෂියක් ලෙස සැලකිය නොහැකි බව ද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.
ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටුක්සිමැබ් ඖෂධ තොග සඳහා තමන් හෝ තම කාර්ය මණ්ඩලය දැනුවත්ව ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අවසරපත් නිකුත් කර නොමැති බව ගුණසේකර මහතා පැවසීය.
අදාළ පරිපාලන හා නීතිමය පසුබිම තුළ සාක්ෂි සලකා බලා තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඔහු විස්තර කළ පෞද්ගලික හා වෘත්තීය ප්‍රතිවිපාක ඔහුගේ නිර්දෝෂීභාවය තහවුරු නොකරන අතර, අපරාධ නඩුවක් පවරා තිබීම පමණක් ඔහු වරදකරුවකු බව ද තහවුරු නොකරයි.
පැමිණිල්ලට සහ විත්තියට අදාළ සාක්ෂි නීතියට අනුව තක්සේරු කරවා ගැනීමේ අයිතිය දෙපාර්ශ්වයටම හිමිවේ.
ඖෂධ ප්‍රසම්පාදන තීරණවල වගකීම පිළිබඳ අවසන් තීරණය අධිකරණයට
ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන සහ ප්‍රසම්පාදන පද්ධතිය තුළ වගකීම් බෙදී ඇති ආකාරය ගුණසේකර මහතාගේ විත්තිවාචකය මගින් නඩු විභාගයේ ප්‍රධාන අවධානයට ලක් කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රශ්නගත ඖෂධ මිලදී නොගත් බව, හදිසි නියාමන ක්‍රමවේද නිල ආයතනික තීරණ ඔස්සේ හඳුන්වා දුන් බව, ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාලක මණ්ඩලය දැනුවත් කළ බව සහ අදාළ ඖෂධ වර්ග දෙක සඳහා වලංගු අයදුම්පත් සැපයුම්කරුගෙන් නොලැබුණු බව ඔහුගේ විත්තිවාචකයේ මූලික කරුණු වේ.
මේ අතර, ඖෂධ ලෙස හඳුන්වා සපයා ඇති කුප්පි දහස් ගණනක අදාළ ඖෂධ අඩංගු නොවූ බවත්, එමගින් රාජ්‍ය මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණයකට ලක් කර ඇති බවත් පැමිණිල්ල චෝදනා කරයි.
මෙම ස්ථාවර දෙක තක්සේරු කිරීම සඳහා මුල් ලේඛන, නියාමන වාර්තා, අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය සහ එක් එක් විත්තිකරු සිදු කළ බව කියන ක්‍රියාකාරකම් ප්‍රවේශමෙන් පරීක්ෂා කළ යුතු වේ.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පරිපාලන පද්ධතිය තුළ පැවැති අඩුපාඩු පිළිබඳ පුළුල් ප්‍රශ්න ද මෙම නඩුවට අදාළ වේ.
2022 ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ සැපයුම් දාම, ප්‍රසම්පාදන සැලසුම් සහ ආයතන අතර සම්බන්ධීකරණයේ පැවැති බරපතළ දුර්වලතා අනාවරණය විය.
එහෙත් සමස්ත පද්ධතිය තුළ පැවැති අඩුපාඩු පමණක් පදනම් කරගනිමින් තනි නිලධාරියකු අපරාධයක් සිදු කළ බව තහවුරු කළ නොහැකිය.
එමෙන්ම පුද්ගලයකුගේ විෂමාචාරයක් සාක්ෂි මගින් තහවුරු වන්නේ නම් පුළුල් පරිපාලන අසාර්ථකත්වයක් පැවැතීම පමණක් එම විෂමාචාරය සාධාරණීකරණය කිරීමට හේතුවක් නොවේ.
ප්‍රශ්නගත අවසරපත්වල සත්‍යතාව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලතල සහ හදිසි නියාමන ක්‍රමවේද හඳුන්වාදීමේදී පාලක මණ්ඩලයේ මැදිහත්වීමේ පරිමාණය පිළිබඳ වැදගත් ප්‍රශ්න ගුණසේකර මහතාගේ විත්තිවාචකයෙන් මතු කර තිබේ.
එහෙත් මෙම නඩු පැවරීම දේශපාලන අරමුණක් මත සිදු වූ බව හෝ හඳුනාගෙන නොමැති වෙනත් පුද්ගලයකු සමස්ත ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හිතාමතා මෙහෙයවා ඇති බව එමගින් තහවුරු නොවේ. එවැනි කරුණු සඳහා වෙනම සාක්ෂි අවශ්‍ය වේ.
විත්තිකරුවන්ගේ වාචික ප්‍රකාශ නොවැම්බර් 3 වැනිදා අවසන් වීමත් සමඟ නඩු විභාගය අවසන් දේශන ඉදිරිපත් කිරීමේ අදියරට පිවිස තිබේ.
ලිඛිත දේශන නොවැම්බර් 25 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අතර වාචික දේශන නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිතය.
පැමිණිල්ල විසින් චෝදනා ඔප්පු කර තිබේද යන්න මෙන්ම ප්‍රශ්නගත ඖෂධ ප්‍රසම්පාදන හා නියාමන තීරණවලට සම්බන්ධ එක් එක් නිලධාරියාගේ නීතිමය වගකීම පිළිබඳව ද අවසන් තීන්දුවෙන් තීරණය කෙරෙනු ඇත.
නීතිමය සටහන: මෙම වාර්තාව ප්‍රධාන වශයෙන් HC(PTB) 02/01/2025 දරන නඩුවට අදාළව 2026 නොවැම්බර් 3 වැනිදා වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඉදිරිපත් කළ විත්තිවාචකය පිළිබඳ ලබාදුන් විස්තරය සහ නඩු විභාගය පිළිබඳ පළ වූ වාර්තා මත පදනම් වේ. ඔහුගේ ප්‍රකාශ මෙහි අර්ථය ආරක්ෂා කරමින් වාර්තා කර ඇති අතර, ස්වාධීනව සත්‍යාපනය කළ වචනානුසාර උපුටා දැක්වීම් ලෙස ඉදිරිපත් කර නොමැත. අපරාධමය වගකීම පිළිබඳ සියලු අවසන් තීරණ අධිකරණය සතු වේ.




