
ශ්‍රී ලංකාවේ 1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් ඇමීලි සහ ඩැනියෙල් ලින්සි පදනමේ වාර්ෂික පුණ්‍යාධාර රාත්‍රී භෝජන සංග්‍රහය පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි.
2019 වසරේ ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් ඇමීලි සහ ඩැනියෙල් ලින්සි සිහිපත් කිරීම වෙනුවෙන් මෙම පදනම පිහිටුවා තිබේ.

උත්සවය අමතමින් පදනමේ නිර්මාතෘ ඩේවිඩ් ලින්සි ප්‍රකාශ කළේ, පදනමේ මූලිකත්වයෙන් මේ වන විටත් ගිලන් රථයක් මිලදී ගෙන ඇති අතර එය ශ්‍රී ලංකාවට භාරදීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.
ඊට අමතරව, යාපනය ප්‍රදේශයේ සේවය සඳහා තවත් ගිලන් රථයක් ලබාදීමේ අරමුණින් අරමුදල් රැස් කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
තමන් මුහුණ දුන් පෞද්ගලික ඛේදවාචකය මානුෂීය සේවාවක් බවට පරිවර්තනය කරමින් කටයුතු කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ලින්සි පවුල වෙත සිය ප්‍රශංසාව පළ කළේය.
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට සහාය වීම, ප්‍රාදේශීය ප්‍රජාවන් සවිබල ගැන්වීම මෙන්ම ශ්‍රී ලංකාවේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් සහ ඒ ආශ්රිත පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම සඳහා මෙම පදනම අඛණ්ඩව කටයුතු කරයි.
පෞද්ගලික ඛේදවාචකයකින් ඇරඹුණු මානුෂීය මෙහෙවර
ලන්ඩන් නුවර පදිංචිව සිටි 15 හැවිරිදි ඇමීලි ලින්සි සහ ඇගේ 19 හැවිරිදි සොහොයුරු ඩැනියෙල් ලින්සි 2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූහ.
ඔවුන් දෙදෙනා සිය පියා වන මැතිව් ලින්සි සමඟ ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටි අතර, ප්‍රහාරය එල්ල වූයේ ඔවුන්ගේ නිවාඩුවේ අවසන් දිනයේදීය. මැතිව් ලින්සි එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට සමත් විය.
ඇමීලිගේ සහ ඩැනියෙල්ගේ වැඩිමහල් සොහොයුරා වන ඩේවිඩ් ලින්සි ඒ වන විට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියේය.
සිය සොහොයුරා සහ සොහොයුරිය සිහිපත් කරමින් ශ්‍රී ලාංකික ප්‍රජාවට සහාය වීමත්, මෙරට හදිසි වෛද්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීමත් අරමුණු කරගෙන ඔහු පසුව මෙම පදනම පිහිටුවීය.
2019 දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ස්ටර්ලිං පවුම් 350,000ක මුදලක් රැස් කිරීමට ඩේවිඩ් ලින්සි සමත් වී තිබිණි. මෙරට රෝහල් නවයක් සඳහා රෝගීන් ප්‍රවාහනය කිරීමට භාවිත කරන ට්‍රොලි ඇඳන් 100ක් පරිත්‍යාග කිරීමට ද එම පදනම කටයුතු කළේය.




