
රට පුරා පැතිර යන මහා පරිමාණ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ පියවරක් ලෙස කෙටි කාලයක් වෙනුවෙන් මරණ දඬුවම හෝ වෙනත් විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා රජයට යෝජනා කරනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩි වන කාලවලදී සිංගප්පූරුව, මියන්මාරය, ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, චීනය, ජපානය, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවලද මහා පරිමාණ ජාවාරම්කරුවන්ට මරණ දඬුවම කෙටිකාලීනව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය තීරණය කර ඇති හෙයින්, දැනට එම පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින බරපතළ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස්වීමේ අවදානමක් පවතින බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
මේ හේතුවෙන්, එම පනත අහෝසි කිරීමට පෙර ‘බරපතළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක්’ සම්මත කර ගැනීම ඉතා වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.
තවද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අදාළ නඩු විභාග කඩිනම් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම වැදගත් බවත්, ඒ සඳහා රස පරීක්ෂක අංශ සහ අධිකරණ ක්‍රමවේදය ශක්තිමත් කළ යුතු බවත් ඔහු පැවසීය.
එසේ නොවුණහොත්, රැඳවුම් නියෝග කාලය අවසන්වී ඇප ලබාගෙන විදේශයන්ට පලා යෑමට එම අපරාධකරුවන්ට ඉඩ ලැබිය හැකි බවද මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




