
ත්‍රස්ත බිය හේතුවෙන් මතභේදයට තුඩුදුන් ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් සටනේ දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් පමණක් සිදුකර ඇති අතර මහීෂ් තීක්ෂණ වෙනුවට ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට එක්කර තිබේ.
එමෙන්ම පාකිස්තාන කණ්ඩායමේ නිත්‍ය නායක ශහීන් ෂා අෆ්රිඩි අද තරගයට සහභාගී නොවන අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සල්මන් අගා වෙත පවරා ඇති බව සඳහන්.
තරගය මෙරට වේලාවෙන් ප.ව. 3ට ආරම්භ වීමට නියමිතව ඇත.
මෙම තරගය ඊයේ (13) පැවැත්වීමට නියමිතව තිබූ අතර, පැවති අවිනිශ්චිතතාව හේතුවෙන් අද දක්වා කල්දැමීමට සිදුවිය.
දෙරට අතර පසුගිය අඟහරුවාදා (11) පැවති පළමු එක්දින තරගය ආරම්භවීමට විනාඩි කිහිපයකට පෙර එරට අගනුවර වන ඉස්ලාමාබාද්හි අධිකරණයක් ඉදිරිපිටදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
එම සිදුවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ආපසු පැමිණීමට තීරණය කිරීමත් සමග තරගාවලිය පැවැත්වීම දැඩි අවිනිශ්චිතතාවයකට ලක්විය.
කෙසේ නමුත් දෙරටේම බලධාරීන් මැදිහත්වී ආරක්ෂාව සහතික කිරීමෙන් පසු මෙම තරගාවලිය හා ඉන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායමේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම්කර තිබූ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියටද ක්‍රීඩාකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිය කැමැත්ත පළ කළේය.
ක්‍රීඩා විචාරකයන්ගේ අදහස වී ඇත්තේ යම් හෙයකින් ශ්‍රී ලංකාව මෙම තරගාවලිය අතහැර පැමිණියා නම් පාකිස්තානය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් යළිත්වරක් දැඩි අර්බුදයකට ලක්විය හැකි බවය.
ඒ අනුව පාකිස්තාන සංචාරය අඛණ්ඩව සිදුකිරීමට ශ්‍රී ලංකාව ගත් නිර්භීත තීරණයට ශ්‍රී ලංකා රජයට, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයට සෙනෙට් සභාව ඊයේ (14) සිය කෘතඥතාව ද පළ කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදී ඔවුන්ව පාකිස්තාන ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.




