
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට රාජ්‍ය නායක ආරක්ෂාව පාකිස්තාන රජය මගින් ලබා දී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට පූර්ණ ආරක්ෂාව ලබාදෙන බව පාකිස්තානයේ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනිර් මහතා ශ්‍රී ලංකා බලධාරීන් හමුවේ පවසා ඇත.

ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරයා අතර ඇති වූ සාකච්ඡා හේතුවෙන් සංචාරක කණ්ඩායමේ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරය දිගට ම කරගෙන යෑමට තීරණය කළ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොෂින් නක්වි බදාදා (නොවැ: 12) පාකිස්තාන සෙනෙට් සභාවේදී ප්‍රකාශ කළේ ය.
පාකිස්තාන හමුදාව සහ ඉස්ලාමාබාද් පොලිසිය ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාව සපයන බව මොෂින් නක්වි පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය අමුත්තන්ගේ තත්ත්වය ලබා දී ඇති බවත්, ඒ යටතේ ඔවුන්ට රාජ්‍ය නායකයන්ට හිමි ආරක්ෂාව ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ‘බ්ලූ බුක්’ යනු රාජ්‍ය නායකයින්ට සහ අගමැතිවරුන්ට ලබා දුන් ආරක්ෂාවයි. එය ලංකා කණ්ඩායමට හිමිවෙයි.
මෙම ආරක්ෂක සැලැස්ම යටතේ හෝටලයේ සිට ක්‍රීඩාංගණය දක්වා මාර්ගයෙන් ජනතාව ඉවත් කර, මාර්ග පරීක්ෂා කර වැදගත් ගොඩනැගිලිවල ස්නයිපර්වරුන් යොදවා තිබේ.
මේ අතර, ෆෙඩ්රල් නීති අමාත්‍ය අසාම් නසීර් තරාර් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ රජයට උපහාර දැක්වීමේ යෝජනාවක් සෙනෙට් සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර එය ඒකමතිකව සම්මත විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාශීලිත්වය ප්‍රදර්ශනය කළ බවත් ත්‍රස්තවාදී ප්‍රහාරය නොතකා ක්‍රීඩා කිරීමට තීරණය කළ බවත් එම යෝජනාවේ සඳහන් වේ.




